මැලේසියාවෙන් රැකියා 10,000ක්

වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කෑ රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව මැලේසියාවේ මානව සම්පත් අමාත්‍ය Datuk Seri M Saravanan පවසනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (සැප්තැම්බර් 21) ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය විසින් කම්කරුවන් 10,000 ක කෝටාවක් ඇතුළත් මිනිස්බල සැපයීම සඳහා නිල අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි.

ඊට පෙර සැප්තැම්බර් 14 වැනි දින පැවති කැබිනට් රැස්වීමේ දී දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට එකඟ වූ බව පැවසූ ඔහු, මැලේසියානු කර්මාන්තකරුවන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රමිකයන් සේවයේ යොදවා රජයේ යහපත් චේතනාවට සහාය දෙන ලෙසයි. ඒ ශ්‍රී ලංකාව විදේශ ශ්‍රමිකයින් බඳවා ගැනීමට මැලේසියාව විසින් අවසර දී ඇති ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු පිරවීමට යි.

අමාත්‍ය Datuk Seri M Saravanan පවසන පරිදි, කෝටා අනුමැතිය ලබා දී ඇති සහ බදු ගෙවීම පියවා ඇති හාම්පුතුන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවයි.

සැප්තැම්බර් 14 වනදා වන විට විදේශීය ශ්‍රමිකයින් සඳහා අයදුම්පත් 416,634 ක් සඳහා අදාළ ගෙවීම් සිදු කර ඇති බවත්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට කැමති සේවා යෝජකයන්ට අමාත්‍යාංශයේ සංක්‍රමණික සේවක කළමනාකරණ අංශය ([email protected]) හෝ මැලේසියානු කම්කරු කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවත් ඔහු පවසනවා. වැඩි විස්තර සඳහා දෙපාර්තමේන්තුව ([email protected]) වෙත පිවිසෙන්නැයි ඔහු කියනවා.
මේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැලේසියා රජයට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. මැලේසියාවේ තීරණයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මනූෂ නානායක්කාර 2022 ජූනි මස යවන ලද ලිපියක් මගින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීම සලකා බලා පිළිගැනීම සම්බන්ධයෙන් මැලේසියානු රජයට ස්තුතිය පළ කරනවා.

මැලේසියාවේ මානව සම්පත් අමාත්‍ය Datuk Seri M Saravanan ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණ ගිවිසුම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඔහු කියන්නේ කර්මාන්ත, නිෂ්පාදන, සංචාරක, සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා ගත හැකි බවයි. මැලේසියාව සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පවතින රැකියා පිළිබඳ විස්තර ප්‍රකාශයට පත් කරන බව ඔහු පවසනවා.

POPULAR

Recent articles