”මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපේ රජය කැපවෙනවා” – අලි සබ්රි

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි නිත්‍ය සැසිවාරයට ඉදිරිපත් කළ 46/1 යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ් විසින්. වාර්තාව ඉදිරිපත් කරමින් Nada Al-Nashif, ශ්‍රී ලංකාවේ තත්ත්වය බිඳෙනසුලු බවත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටින බවත් කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ 46/1 යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරන බැවින් ශ්‍රී ලංකාව ඊට තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ යෝජනාවට සහ නිර්දේශවලට අදාළ පසු විපරම් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවට බල කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. මානව හිමිකම් ඉදිරියට ගෙන යාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නොසැලෙන කැපවීමක් ඇතැයිද අමාත්‍ය අලි සබ්රි යළි අවධාරණය කළා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගීතාවයෙන් සහ සංවාදයෙන් අඛණ්ඩව සම්බන්ධ වී සිටින බවත්, ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්ධානය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීමත් ඔහු අවධාරණය කර තිබුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ජාත්‍යන්තරයේ දී හොඳම භාවිතයන්ට අනුකූලව ජාතික ආරක්ෂක පනතක් ගෙන එන බවයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ අමාත්‍ය අලි සබ්රිගේ කතාව : UNHRC- Statement by Minister Ali Sabry

සම්පූර්ණ එක්සත් ජාතීන්ගේ වාර්තාව

POPULAR

Recent articles