ආර්ථික අර්බුදය විසඳීමට ඇති හැකියාව පිලිබඳ සමීක්ෂණයකින් අනුර දිසානායකට මුල්තැනට

වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය විසඳීමට හැකියාව ඇත්තේ ජවිපෙ නායක, ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකට පමණක් බව සමාජ සමීක්ෂණයක ප්‍රතිඵල පවසනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරනු ලැබූ සමීක්ෂණයට අනුව ඊට සහභාගීවූවන් අතරින් 48.5%ක් විශ්වාස කරන්නේ තත්වය වෙනස් කිරීමේදී හැකියාව ඇතැයි විශ්වාස කළ හැකි වන්නේ අනුර දිසානායකට බවයි.

ඉන් පසුව විශ්වාසය දක්වා ඇත්තේ පිළිවෙලින් රනිල් වික්‍රමසිංහට හා සජිත් ප්‍රේමදාස වෙතයි. ඉන් රනිල් වික්‍රමසිංහ හට පවතින අර්බුදය විසඳිය හැකි බව විශ්වාස කරන්නන් 36.6%ක් වූ අතර සජිත් ප්‍රේමදාසට හැකියාව ඇතැයි විශ්වාස කරන්නන් 29.1%කි. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ 23.7%කි. අගමැති දිනේෂ් ගුණවර්ධනට පවතින ආර්ථික අර්බුදය වෙනස් කළ හැකි බව විශ්වාස කරන්නේ 18.3%කි. අවම විශ්වාසයක් තබා ඇත්තේ ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ වෙතයි. එය 11.9%ක්.

මෙම සමීක්ෂණය පිළිබඳව සාරාංශ ගතකළ තොරතුරු අනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසන්නේ අනුර දිසානායක කෙරෙහි සමීක්ෂණයට සහභාගී වූ සෑම ජනවර්ග ප්‍රජාවක්ම සමාන ලෙස විශ්වාසය දක්වා ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි සමීක්ෂණයට සහභාගේ වූ පිරිස අතරින් සිංහල ප්‍රජාවගෙන් 1/3ක පිරිසක් විශ්වාසය තබා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශ්වාසය පළකළ අය වන්නේ සිංහල නොවන සෙසු ප්‍රජාව බවයි කියන්නේ.

විශේෂය වන්නේ පොහොට්ටුව නිල වශයෙන්ම නියෝජනය කරන අගමැති දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන තිදෙනා කෙරෙහිම සියලුම ජනවර්ග ඉතා අවම විශ්වාසයක් දක්වා තිබීමයි.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස පිළිබඳව මෙම සමීක්ෂණයෙන් විමසා තිබුණා. රටේ ආර්ථිකයේ අනාගතය පිළිබඳව සහභාගීවූවන් දක්වා ඇත්තේ එය ඉතා අශුභවාදී බවයි. සහභාගීවූවන් ගෙන් 58% ක් සඳහන් කර ඇත්තේ වර්තමානයේ පවතින පසුගාමී තත්වය යථාතත්වයට පත්වීමට බොහෝ කාලයක් ගතවනු ඇතැයි සිතයි. 20% ක් පවසන්නේ ඔවුන්ට ඒ පිළිබඳව විශ්වාසයක් නැති බවයි. මෙම ආන්තික අශුභවාදය සියලු ජනවාර්ගික කණ්ඩායම් තුළ මෙන්ම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවන් තුළ ද දැකිය හැකි බවයි සමීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වී ඇත්තේ.

POPULAR

Recent articles