චොකා මල්ලි දිවුරුම් දෙයි

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38ක් දක්වා ඉහල යනවා.

කහවත්ත ඝාතන චෝදනාවකට මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය 2022 මාර්තු 31 තීරණය කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ ඝාතන චෝදනාවට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට මරණ දඬුවම නියම කළේ 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින්.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එසේ එල්ලකර තිබූ චෝදනාවට අදාළව වැරදිකරු වීම මත මරණීය දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී ඔහු පොහොට්ටුව වෙනුවෙන් රන්තපුර දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩිම මනාපලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව 2020 සැප්තැම්බර් 08 පස්වරු 1.00 ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු දිවුරුම් දුන්නා. ඒ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මැදයි.

එදින විරෝධය දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබුණා. ඒ කණ්ඩායම අතර අද වනවිට කැබිනට අමාත්‍ය ධුර දරන මනූෂ නානායකකාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු දෙදෙනාත් සිටියා. එම විරෝධයෙන් පසුව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ ක්‍රියාවළිය පිළිබඳව විරෝධය දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියා.

එදින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාවේදී මතු කළ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පසුව ආණ්ඩු පක්ෂය ඉල්ලීමක් පවා කළා.

2015 දී මෙම සිදුවීම සිදුවුණේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂයා වූ මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වද්දී යි.
ප්‍රේමලාල් ජයසේකර මහතා බොහෝ දෙනා හඳුන්වන්නේ ‘චොකා මල්ලී’ යන අනවර්ථ නමින්. ඒ පිළිබඳව විමසීමේ දී ඔහු පවසා තිබුණේ තමන්ට ‘චොකා මල්ලී’ කියන්නේ තමන් කුඩා කල දිනෙක චොකලට් තොගයක් තනිවම කෑ නිසා බවයි.

POPULAR

Recent articles