P B ගේ ලිපිය මෙරටට බලපෑ අන්දම

P B ගේ ලිපිය මෙරටට බලපෑ අන්දම

රජයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් නිකුත් කරන ලද ලිපිය පසුගිය කාලයේ සමාජය තුළ දැඩි විවේචනයට ලක්වුණා. පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ සාමාජිකයින් පවසා සිටියේ එම ලිපිය ජනාධිපතිවරයාගේ නියෝගයක් මත නිකුත් වූවක් නොවන බවත්, එය පී.බී. ජයසුන්දරගේ පෞද්ගලික ආයාචනයක් පමණක් වන බවයි. මෙහිදී අපට පැනනඟින ගැටළුව වන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතියක් නොමැතිව ජනාධිපති ලේකම්වරයාට රිසි පරිදි තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති කාර්‍යාලයේ ලිපි ශීර්ෂ භාවිතා කළ හැකිද යන්නයි. එසේ කළ නොහැකිනම් ජනාධිපති ලේකම්වරයා මේ සිදුකර ඇත්තේ තමන්ගේ බලය අවභාවිතා කිරීමකි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු වනවා.

අනෙක් අතින් එම ලිපිය පී.බී. ජයසුන්දරගේ පෞද්ගලික ඉල්ලීමක් බවත්, කිසිවෙකුගේ වැටුප බලෙන් කපා නොගැනෙන බවත්, රජයේ සේවකයින් කැමතිනම් පමණක් ඔවුන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ හැකි බවත් පවසමින් රජයේ ඇමතිවරුන් පරසක්වළ ගසද්දී දිවයිනේ බෝහෝ රජයේ ආයතනවලින් අපට වාර්තා වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාන්දරයක්. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්‍යාලය වෙත යවන ලද ලිපියකින් දන්වා ඇත්තේ ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු පිරිස්වල මාසික වැටුප, වැටුපෙන් අඩක් හෝ දිනෙක වැටුප සුදුසු පරිදි කපාගැනීමට පියවර ගන්නා ලෙසයි. කොරෝනා වසංගතය හමුවේ ජීවිත අවධානමකට ලක්කරමින් පෙරමුණ ගෙන ක්‍රියාකරන හමුදා සාමාජිකයින්ගේ වැටුප බලහත්කාරයෙන් කපාගැනීමට තරම් පහත් තත්වයකට රජය ඇදවැටී තිබීම සැබැවින්ම කණගාටුදායක කරුණක්.

මීට අමතරව සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව තම පළාත් සභාව යටතේ සේවය කරන සේවකයින්ගේ වැටුපෙන් අයකරගන්නා බව පවසමින්, රුපියල් මිලියනයක මුදලක් කෝවිඩ්-19 අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. ඒ අනුව එම පළාත් සභාවේ සේවයකයින්ගේ කැමැත්ත විමසීමකින් තොරවම ඔවුන්ගේ දිනක වැටුප කපාගන්න ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කර ඇති බව වාර්තා වන්නේ. මේ අතර තැපැල්පතිවරයා ද තැපැල් සේවකයින්ගේ කිසිදු අනුමැතියක් නොමැතිව ඔවුන්ගේ දිනෙක වැටුප කපාගැනීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යාංශයේ ලේකම් වෙත් ලිපියක් යවමින් තැපැල් සේවකයින් ඉල්ලා සිටින්නේ අසාධාරණ ලෙස කපාගත් තම වැටුප නැවත ලබාදෙන ලෙසයි.

පී.බී. ජයසුන්දර විසින් යොමුකරන ලද ලිපිය ඔහුගේ පෞද්ගලික ලිපියක් පමණක් නම් රජයේ සේවකයින්ගේ වැටුප් මෙලෙස බලහත්කාරයෙන් කපාගැනීමට රජයට හැකියාවක් තිබේද ? චක්‍රලේඛයක් ගෝ ගැසට් පත්‍රයක් නොමැතිව මෙසේ අත්තනෝමතික ලෙස රජයේ සේවකයාගේ වැටුප කොල්ලකෑමට රජයට ඇති අයිතිය කුමක්ද ? අනෙක් අතින් මෙසේ රජයේ ආයතන කිහිපයක වැටුප් බලහත්කාරයෙන් කපාගත්තා කියා කෝවිඩ් අරමුදලට සෑහෙන තරම් මුදලක් ඉන් ලැබෙන්නේද නැත. එමනිසා රජයේ මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ ආර්ථික අර්බුධය හමුවේ පීඩනයට ලක්ව ඇති රජයේ සේවකයාව තව තවත් පීඩාවට ලක්කිරීම විනා ඵලකට ඇති ක්‍රියාවක් නම් නොවේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles