වතුකරයේ මිනිස් ජාවාරමක්

වතු කම්කරුවන් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකෙන විට වතුකරයේ ඇතිව තිබෙන මිනිස් ජාවාරමක් පිළිබඳව අනාවරණය වෙනවා. සමහර තැරවුකරුවන් විසින් සිදු කරනු ලබන මේ මිනිස් ජාවාරම් හේතුවෙන් වතුකරයේ තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට පත්විමේ අවදානමක් පවතින බවයි මේ පිළිබඳව පවසන ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධිකරණ ලේකම්, ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදිපන් පවසන්නේ.

“මේ වන විට වතුකරයේ කම්කරු ජනතාව දැඩි ලෙස ආර්ථික වශයෙන් ප්‍රිඩාවන්ට පත් වෙලා ඉන්නේ. එම තත්වයන් මත බොහෝ දෙනකුට තුන් වේලට කන්න නැහැ. පාසල් යන වයසේ බොහෝ දරුවන්ට පාසල් යන්න තත්වයක් නැහැ. මෙම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන් බොහෝ පිරිසක් ඉන්නේ දැඩි අසහනයකින්. මෙතනදී වැඩි වාසියක් ලබා ගැනිමට බලා සිටින වතු ආශ්‍රිත සමහර තැරවුකරුන් මෙම තරුණ පිරිසට සුරංගනා ලෝක මවා පාමින් ඔවුන් විවිධ ස්ථානවලට අලෙවි කරනවා. මේ මිනිස් ජවාරම් සිදු කිරිමත් සමඟ මේ තරුණ පිරිසගේ ජිවිත දැඩි අවදානමකට ලක් වෙලා.

සමහර තැරවුකරුවන් විශේෂයෙන් තරුණියන් වගේම පාසල් යන වයසේ දැරියන් පවා නිවාසවල මෙහෙකාර සේවයන්ට රැගෙන යනවා. ඒ අතර සමහර තැරවුකරුවන් ලබාල තරුණියන් පවා ගණිකා වෘත්තිය සඳහා යෙදවිමටත් පියවර ගෙන තිබෙන බවයි වතුකරයේ සමහර අය කියන්නේ.
ගණිකා සේවයේ යොදවන තරුණියන් පිළිබඳව හරි හමන් තොරතුරු ලබා දිමට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඔවුන්ට විවිධ පීඩාවන්ට වගේම විවිධ තර්ජනවලට ලක් වෙන්න වෙයි කියන බයට. අනෙක් කාරණය ලැජ්ජාව. මෙම තත්වයන් ඉදිරියටත් මෙසේ පැවතියහොත් එය වතුකරයේ තවත් විශාල ඛෙදවාචකයක් වෙන්නත් පුළුවන්.

2021 දී ඩයගම, ඉෂාලනි දැරිය මිය ගියෙත් මේ වසරේ පසුගිය දිනක පිහිනුම් තටාකයක් සුද්ධ කිරිමට ගොස් මස්කෙළිය මෝකා වතුයායේ රමණි කියන දැරිය මිය ගියෙත් වතුකරය තුළ සිදුවන මේ මිනිස් ජවාරම්වල ප්‍රතිඵලයක් විදිහට. මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි. අඩු තරමින් වතුකරයේ තරුණ පිරිස මිනිස් ජවාරම් සඳහා රැගෙන යන පුද්ගලයන් පිළිබඳව නිසි තොරතුරු රහසිගතව හෝ ලබා දෙනවා නම් ඒ ගැන අපිට උනත් හොයා බලන්න පුළුවන්.
බලධාරීන් විසින් පාසල් යා යුතු වයසේ දරුවන් පාසල් නොයාම පිළිබඳව සොයන්න ඕනේ. ඒ සේරම කරන අතර වතු ජනතාවගේ ආර්ථික තත්වය වැඩිදියුණු කරන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ” යි උප සභාපතිවරයා පවසනවා.

POPULAR

Recent articles