උදයංග වීරතුංගගේ ඉල්ලීමක් අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වෙයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (12) ප්‍රතික්ෂේප කළා.

ඒ, තමන්ට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස පවසමින් උදයංග වීරතුංග කළ ඉල්ලීමයි.

මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මීට පෙර උදයංග වීරතුංගට ඇප ලබාදුන් අවස්ථාවේ දී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළා.

මෝසමක් මාර්ගයෙන් අද (12) අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියාසිටියේ වෙළෙඳ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා තම සේවාදායකයාට විදෙස්ගතවීමට අවශ්‍යව ඇති බැවින් අදාළ තහනම තාවකාලිකව ලිහිල් කිරීමක් සිදුකරන ලෙසයි.
කෙසේවෙතත් උදයංග වීරතුංග 2015 වසරේ සිට අධිකරණය මගහැර විදෙස්ගතව සිට 2019 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි බැවින් මෙවර විදෙස්ගතවීමට අවසර ලබාදුනහොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා උදයංග වීරතුංග කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දැනුම්දුන් බව දී තිබෙනවා.

POPULAR

Recent articles