”පාලකයන් හිතන්නේ මිනිස්සු මේ තත්ත්වයන් දරාගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලද?” – හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව අවුරුදු 40ක වැනි කාලයක් පුරා පාලනය වී තිබෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

තමන් නියෝජනය කරන වයස් පරම්පරාව දීර්ඝ කාලයක් හදිසි රෙගුලාසි යටතේ ජීවත් සිටි නිසා බොහෝ දෙනෙකුට එය සාමාන්‍යකරණය වී ඇති බවයි ඇය කියන්නේ. ඒ අතර උතුරු නැගෙනහිර ජනතාවට හදිසි අවස්ථා රෙගුලාසි ඔවුන්ගේ පැවැත්මේ ම කොටසක් බවට පත්ව ඇති බව ඇය සඳහන් කරනවා.

“ජූලි 18 වැනිදා පනවන ලද හදිසි රෙගුලාසි කරුණු දෙකක් නිසා සුවිශේෂයි. එක හේතුවක් වන්නේ එයට මීට පෙර නොවූ විරූ පරිදි මර්දනකාරී සහ ඉතා කුරිරු ක්‍රියාමාර්ග ඇතුළත්ව තිබීමයි. උදාහරණයකට කිව්වොත් හමුදාවට පවා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පැය 72 එකක් දක්වා රඳවා තබා ගැනීමට හැකියි. පැය 72 යනතුරු අධිකරණයකට හෝ පොලිසියකට එම පුද්ගලයා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. පොලීසියට සහ හමුදාවට ලබා දීලා තියෙන බලතල පුළුල් කරලා තියෙනවා. සුළු අපරාධ ලෙස කලින් විස්තර කර තිබූ අපරාධ මහා අපරාධ ලෙස විස්තර කරලා තියෙන නිසා පුද්ගලයකුට වසර විස්සක් දක්වා හෝ ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් ලබා දීමටත් හැකියි. අවශ්‍ය වන්නේ හදිසි රෙගුලාසි පැනවීම දෙස බැලීම නොවේ ඒ යටතේ ගැසට් කර ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න බැලීමයි.

මෙය පෙර නොවූ විරූ තත්ත්වයක් වීමට බලපාන තව හේතුවක් තියෙනවා. මෙම හදිසි රෙගුලාසි පැනවූයේ ජනතා ඡන්දයෙන් තේරී පත් නොවූ පුද්ගලයෙකු වැඩ බලන ජනාධිපතිවරයෙක්ව සිටියදී යි. අප දන්නව රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආසනේ පවා පැරදුන කෙනෙක්. ඔහුව බලයට පත් කරන්නේ මෙම පාර්ලිමේන්තුව. එසේ පත් වූ ඔහුමයි මෙම කුරිරු ක්‍රියාමාර්ගයන් පනවා තිබෙන්නේ. මෙම හදිසි රෙගුලාසි වල නිශ්චිතතාවයත් ඒවා පනවා ඇති සන්දර්භයත් මෙම හදිසි රෙගුලාසි පිළිබඳ සාකච්ඡා කරන විට අපි සැළකිල්ලට ගත යුතුයි. පොදුවේ ගත් විට හදිසි රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමේ දී යම් විශේෂ තත්ත්වයක් තිබිය යුතු බවට අපට අවබෝධයක් තිබෙනවා. ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට ඉතා ගැඹුරු තර්ජනයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් එසේ හදිසි රෙගුලාසි පනවනවා වුවත්, අද හදිසි රෙගුලාසි පනවලා තියෙන තත්ත්වයන් මොනවද?

ජනතා මුහුණ දෙමින් සිටින ගැඹුරු ආර්ථික පීඩනය සමඟ ජනතාව පසුගිය මාස කිහිපයේ විරෝධතාවය යෙදෙනවා. බොහෝ විරෝධතාවයන් පටන් ගන්නේ ජනතාව මුහුණ දෙන මෙම ගැඹුරු ආර්ථික තත්ත්වයන් එක්ක. ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ වගේම මේ විරෝධතාවය ජාතික ආරක්ෂාවට මහජන ආරක්ෂාවට තර්ජනයක් කියලා හඳුන්වන්නේ කොහොමද කියන දේ සැළකිල්ලට ගන්න ඕනි. මිනිස්සු පාරට බැහැලා ඉන්නේ බඩගින්න තමන්ගේ ජීවනෝපාය අහිමි වීමේ තත්ත්වයත් එක්ක, තමන්ගෙ දරුවත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන දුෂ්කර තත්ත්වයත් එක්ක. දරුවන්ට පාසැල් යන්න විදිහක් නෑ. සියලුම වර්ගයේ බෙහෙත් ද්‍රව්‍ය හිඟයි ඉන්ධන හිඟයි. ජීවිතේ ගෙනියන්න අවශ්‍ය මූලික දේවල් හිඟයි. මේ ප්‍රශ්න වලට තාමත් විසඳුම් නැහැ. ඒ ප්‍රශ්න තාමත් තියනවා.

පාලකයන් අපේක්ෂා කරන්නෙ මේ රටේ මිනිස්සු මේ තත්ත්වයන් දරාගෙන පැත්තකට වෙලා ඉන්න ඕනි කියලද. මෙය සාමාන්‍ය දෙයක් විදිහට සළකන්න ඕනි කියලද හිතන්නේ. සාමාන්‍ය ලෙස සළකන්න මේක සාමාන්‍ය තත්ත්වක් නෙවෙයි. ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඒ නිසයි මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ. ඒ තත්ත්වය ඒකාධිපති, ත්‍රස්තවාදී, ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාවන් විදිහට විස්තර කිරීමෙන් පෙන්නුම් කරන්නේ මේ ගැටලු සම්බන්ධයෙන් සංවේදීතාවයක් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ පාලනයට නොමැති බවයි” ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.

POPULAR

Recent articles