IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බවයි කියන්නේ. ඒ සඳහා අවශ්‍ය අවස්ථාවන්හි දී විදේශ අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීමට ද සැළසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වනවිටත් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ එහි තාක්ෂණික වටයේ සාකච්ඡා අදියර කිහිපයක් සිදුකර තිබුණා. එහෙත් එය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුකාරී තත්වයක් උද්ගතවූයේ පසුගිය සති කිහිපය තුළ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බවයි කියන්නේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන අවධානයෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිවේදනයක්ද නිකුත් කළා. අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා සමාජ තත්වය මෙරට ජනතාව කෙරෙහි බලපා ඇත්තේ කෙසේදැයි දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන බවයි. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වූ වහාම යළි සාකච්ඡා ආරම්භ කිරිමට සූදානම් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකවරයා කියා තිබුණා.

POPULAR

Recent articles