”පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය ගැන සංවේදී වුණේ නෑ” – ඕමල්පේ සෝභිත

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවයි උන්වහන්සේ කියන්නේ. මහ නා හිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන කළ ඉල්ලීම් අනුව ඉතා ඉක්මනින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට, මහජනතාවගේ දුක නැතිකිරීමට, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමට වත්මන් පාලනය කටයුතු කළ යුතු බව සෝභිත හිමි සඳහන් කරනවා.

පොහොට්ටුව 2019 දී රටක් මුලාවට පත්කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ බවයි සෝභිත හිමි කියන්නේ. බැඳුම්කර වංචාව සිදුකළ හොරකු, දේශද්‍රෝහියකු, රට විකිණූ අයකු බව කියමින් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු ආසනයද අහිමි කළ බව උන්වහන්සේ පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නම් තමන්ට අසත්‍ය චෝදනා එල්ල කළ අයට එරෙහිව පියවර ගත යුතු බව කී ඕමල්පේ සෝභිත හිමි තමන් විසින්ම හොරකු ලෙස හංවඩු ගැසූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට යෝජනා කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතාට නීතිමට හා සදාචාරාත්මක අයිතියක් තිබේදැයි ප්‍රශ්න කරනවා.

හොරකම්, වංචා කරමින්, මුසාවාද කී අය ඉදිරි මැතිවරණයකදී ගෙදර යැවීමට ජනතාව බලා සිටින බවයි ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ.

POPULAR

Recent articles