තුන් හෙළේ ගිනි අවුලා ගෝඨාභය ඉල්ලා අස්වෙයි

ජූලි 09 වෙනිදා ඇති වූ මහජන නැගිටීම නිසා සිය නිල නිවසින් පැනගොස් ඉන්නා තැනක් නොදන්වා සැඟවී සිටි මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වූ බව නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. ඔහුගේ අත්සන යෙදු විධිමත් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිල වශයෙන්ම දැනුම් දෙනු ලැබුවා. ඒ මොහොත වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට අයත් AN 32 ගුවන් යානයකින් තම බිරිඳ අයෝමා රාජපක්ෂත් සහ ආරක්ෂකයින් දෙදෙනෙකු සමඟ මාලදිවයින බලා පැන ගොස් පසුව සිංගප්පූරු වෙත ගිය බවයි වාර්තා වී තිබෙන්නේ. පිරිස මාලදිවයිනට ගොස් තිබුණේ පසුගිය 13 වෙනිදා යි. එතනින් පිටවී යාමට ඇති වූ මහජන බාධා කිරීම් නිසා සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV 788 ගුවන් යානයේ සිංගප්පූරුවට පැන ගත්තේ ඊයේ (14) දිනයි. 13 වෙනිදා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය එවන බවට බොරු කියූ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේ එය කතානායකට යොමු කළේ ඊයේ යි.

ලිපිය සම්බන්ධයෙන් අද (15) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිත්‍යානුකූලව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

කතානායකවරයා කියන්නේ මෙරට සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා තමන්ට එම ඉල්ලා අස්වීමේ ලිපිය ලැබූ බවයි. ඊයේ රාත්‍රියේ ලැබූ ලිපිය සත්‍ය ලිපියක් බව තහවුරු කරගැනීමෙන් පසුව සහ නීත්‍යනුකූල කටයුතු අවසන් කළ යුතුව තිබූ නිසයි එම ඉල්ලා අස්වීම අද ප්‍රකාශයට පත් කළේ.

ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටවනු ලැබූ විධායක ජනාධිපති තනතුරින් ධුර කාලයට පෙර ඉල්ලා අස්වී ඉවත්ව පලා යන පළමු ජනාධිපතිවරයා ඔහුයි. 2019 නොවැම්බර් 16 වනදා තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙරට ඉතිහාසයට එක්වනු ඇත්තේ අඛණ්ඩව එල්ල වූ මහජන විරෝධය නිසා සැඟවී පලා යාමට සිදු වූ මෙරට පළමු රාජ්‍ය නායකයා ලෙසයි.

හිතුවකාරී, අත්තනෝමතික, අකාර්යක්ෂම, දැක්මක් නොමැති, අදූරදර්ශී පාලනය හේතුවෙන් බලයට පත්වූ කෙටි කලකින්ම මුළු රටම ගිනි තැබූ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය රටට උරුමය කර දෙනු ලැබුවේ සෑම ක්ෂේත්‍රයකම අර්බුදයන්ම පමණකි. පුපුරා ගිය මහජන පීඩනය හමුවේ දැඩි අකමැත්තෙන් ධුරයෙන් ඉවත් වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවසාන මොහොතේදීත් මහජන විරෝධය වටහාගත නොහැකිව තමන් විසින්ම පත්කරනු ලැබූ එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව වැඩ බලන ජනාධිපති ධුරයේ තබා යාමට කටයුතු කළා.

POPULAR

Recent articles