21 ගැන සාකච්ඡාවක් අද (03)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ එම සාකච්ඡාවේදී ‍දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් ගෙන එන සංශෝධන සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමගද 21 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ අද (03) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වේ.

තම අමාත්‍යාංශයේදි එය පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

ජමෙයිතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් සමගද අද (03) එම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඊයේ (02) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එම සන්ධානයට අයත් සෙසු දේශපාලන පක්ෂ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සඳුදා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කියා සිටිනවා.

POPULAR

Recent articles