“ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්” – සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (14) කොළඹදී පවසා සිටියා.

එමෙන්ම අගමැති ධුරය බාරගන්නා ලෙසටත් දිගින් දිගටම පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔහු කියා සිටියේ රට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙළක් සඳහා තමන්ට සහයෝගය ලබාදීම සඳහා පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් දිනපතා තමන්ට කතා කරන බවයි.

රාජපක්ෂවරු, රනිල් වික්‍රමසිංහ ඇතුළු දූෂිත දේශපාලනය නිමා කළත් ඊළඟට පත්වන්නේ ද දූෂිත දේශපාලනඥයන් බැවින් ජනතාව අපේක්ෂා කරන පාලනය ඉන් බිහි නොවන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙනවා.

යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවත් රට වෙනුවෙන් අභියෝග භාරගැනීමට තමන් පසුබට නොවන බවත් සරත් ෆොන්සේකා එහිදී කියා සිටියා.

ඔහුට ලැබෙන ආරාධනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂය දැනුවත් කළේද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික දේශපාලන සාකච්ඡා සියල්ලම පක්ෂ නායකත්වය දැනුවත් කිරීම අනවශ්‍ය බවයි.

තමන්ට රට වෙනුවෙන් වගකීම් බාර දෙන්නේ නම් අරගලකරුවන්ගේ අරමුණ ජයග්‍රහණය කර රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් සරත් ෆොන්සේකා එහිදී පැවසුවා.

එමෙන්ම ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය භාරදීම සඳහා හදිසි නොවන ලෙසත් දේශපාලඥයන් තීන්දු ගැනීමෙන් පසු හරි වෙලාවට ඒවා භාර දීමට කටයුතු කරන ලෙසත් අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවත් සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles