මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදහස් කෙරේ

මරණ දඬුවම නියම වී සිටි පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මීට පෙර ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඬුවම නියම කෙරුණා. එම වෙඩිතැබීම සිදුව තිබුණේ කහවත්තේ පැවති රැළියකදී යි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ ඒ පිළිබඳව නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ ඝාතන චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අද (31) අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.

POPULAR

Recent articles