කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී තවමත් අත්අඩංගුවට ගෙන නෑ

පසුගිය 07 වනදා රාත්‍රියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ සිදුවු බහින්බස් විමක් හේතුවෙනුයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ උපදෙස් පරිදි අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මේ සම්බන්දව පරීක්ෂණ පවත්වනු ලැබුවා.

කෙසේ වුවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තවමත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටිනවා.

එමෙන්ම අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව කියා සිටියේ අදාළ වෙඩි තැබීමෙන් පුද්ගල හෝ දේපල හානියක් සිදුව නොමැති බැවින් අපරාධකරුවෙකු එක්වරම අත්අඩංගුවට ගත නොහැකි බවයි.

බහින්බස් වීමක් දුරදිග යාමේදී එය පාලනය කිරීමට හා තමාගේ ආරක්ෂාව වෙනුවෙන් අහසට වෙඩි තැබූ බවත් මන්ත්‍රීවරයා තමන්ට දුරකතනයෙන් පැවසූ බව අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles