පරිපාලන සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරන්නේ. ඔවුන් ඒ බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ආපදා තත්ත්වයක් හෝ ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිසි බලධාරියෙකු පත්කර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සහ අයිතීන් ද ආරක්ෂා කිරීම දැඩි කාලීන අවශ්‍යතාවක් බවයි සංගමය කියන්නේ. මාතර රෝහල වෙත ගිය මාතර ප්‍රාදේශීය ලේකම්වරිය බලහත්කාරයෙන් කාමරයක රඳවාගෙන රෝගී සත්කාරය පිළිබඳ සෞඛ්‍ය ආචාරධර්ම උල්ලංඝණය වන ආකාරයෙන් සෞඛ්‍ය සේවකයින් පිරිසක් කටයුතු කර ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වන අවස්ථාවේ එම වැඩසටහන අධීක්ෂණය කළ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයාගේ රාජකාරියට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් බාධා කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන්.

එම සිදුවීම් දෙකට අදාළව නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට වන්නේ නම්, දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ද, රාජ්‍ය පරිපාලන සේවා සංගමය අවධාරණය කර තිබෙනවා.

POPULAR

Recent articles