“තියෙන සල්ලියක් දීලා තෙල් ගේන්න” – ජනපති

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බව පවසන ජනාධිපතිවරයා එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (27) පවතී සාකච්ඡාවක දීයි මේ බව කියා ඇත්තේ.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහබැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබා දීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නො හැකි වුව හොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මව් සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය කළබව කියනවා.

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තියෙනවා. මහබැංකු අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මව් සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයන පවසා ඇති බවයි කියන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ සහ බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානීන් මේ අවස්ථාවට එක් ව තිබුණා.

POPULAR

Recent articles