දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා තිබෙනවා. ඒ සිව් දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිස අද (23) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී යි.

මෙම දූත පිරිස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට බවයි කියන්නේ. මෙරටට අඛණ්ඩව සහය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බවද මෙම කණ්ඩායම පවසා තිබෙන බව කියනවා.

අසීරු අවස්ථාවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහාය වෙමින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ සම්බන්ධයෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයට පිරිනමන බවත් ජනාධිපතිවරයා එම දූත පිරිසට පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡා කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇතැයි දූත පිරිස පැවසු බවයි කියන්නේ. ඉන්දීය ණය ආධාර යටතේ මේවන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

මේ අවස්ථාවට ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) ප්‍රමුඛව ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු පිරිසක්ද සහභාගී වූ බවයි කියන්නේ.

POPULAR

Recent articles