“මානව හිමිකම් ආරක්ෂා කරනවා නම් ලංකාවට ණය දෙන්න” – ඇම්නස්ටි ජාත්‍යන්තරය IMF වෙතින් ඉල්ලයි

බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ සැලසුම්වල දී මානව හිමිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසනවා. නීතියේ ආධිපත්‍යයද, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ද සියලු ගනුදෙනුවලදී ප්‍රමුඛස්ථානයෙහි ලා සලකන ලෙසයි සංවිධානය විසින් ලිපියක් මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලා තිබෙන්නේ.

ඒ ඇම්නස්ටි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා යාමිනි මිශ්රා (Yamini Mishra) විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොළඹ නේවාසිකයාට යැවූ ලිපියකින්.

“වාචිකව දී ඇති පොරොන්දු මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී සැබෑ සහ ඵලදායී ආරක්ෂාවක් බවට පෙරලෙන්නට නම්, IMF සහ ශ්‍රී ලංකාව අතර කතිකා කරගන්නා වූ ඕනෑම අනාගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් මානව හිමිකම් කේන්ද්‍ර කරගත්තක් විය යුතුය” බවයි ඇම්නස්ටි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා යාමිනි මිශ්රා විසින් යවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ.

එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ මූලධර්ම පිළිපදිමින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාර මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය රැකීමේ වගකීමකින් බැඳී ඉන්නා බවයි ඇය කියන්නේ.

ඒ හේතුවෙන් මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට එරෙහිව කිසිම ප්‍රතිපත්තියකට හෝ වැඩසටහනකට මුදල් යෙදවීමෙන් වැළකී සිටිය යුතු බව සිය ලිපියෙන් යාමිනි මිශ්රා පවසා තිබෙනවා.

“ණය ගන්නා රාජ්‍යය තුළ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන හෝ අනාගතයේ උල්ලංඝනය විය හැකි හෝ ක්‍රියාකාරකම් හෝ ව්‍යාපෘතිවලට ණය දෙන්නන් මුදල් නොයෙදවිය යුතුයි. මානව හිමිකම් පිළිබඳව වූ ස්වකීය වගකීම් ඉෂ්ට කිරීමේ හැකියාවට හානි පමුණුවා ගැනීමෙන් තොරවම විදේශීය ණය ආපසු ගෙවීමට හැකියාවක් ණය ගන්නා රටවලට ඇති බවට ණය දෙන්නන් තෘප්තිමත් විය යුතුය” යි ඇය කියනවා.

“ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගන්නා ආර්ථික, සමාජීය සහ මුල්‍යමය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය හා බැඳුනු සියලුම ගිවිසුම් සහ ඒවායේ කොන්දේසි හා නියමයන්වල පාරදෘශ්‍යභාවය මෙන්ම මහජන සුපරීක්ෂාවට ලක් කිරීමට ලබාදෙන බවටද සහතික කරගන්න” යි ඇම්නස්ටි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොළඹ නේවාසික නියෝජිතයාගෙන් ඉල්ලා තිබෙනවා.

POPULAR

Recent articles