දැන් ටිකට් අරන් උඩ ගිහින් බලන්න පුළුවන්

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුලුන පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවනවා. නෙළුම් කුලුන නැරඹීම සඳහා දීනකට 1400ත් 2000 ත් අතර පිරිසකට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නෙළුම් කුලුන නැරඹිම වෙනුවෙන් දේශීය පුද්ගලයන්ගෙන් අයකරන ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 2,000 දක්වා වනවා. පාසල් දරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 200 ක්. එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක්.

සතියේ දිනවල පස්වරු 2. 00 සිට රාත්‍රි 10.00 දක්වාත් සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් ජනතාවට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව ලැබෙනු ඇති.

වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුලුනේ උස මීටර් 350 ක්. නෙළුම් කුලුනේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර්යාල පහසුකම් සපයා තිබෙනවා.

තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය වෙන් කර ඇත්තේ, විවිධ අංග සඳහායි. කුලුනේ පොහොට්ටුව සහිත කොටස මහල් 7 කින් සමන්විත අතර ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහා එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබෙනවා. තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ පස්වන මහළේ ය. 6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල වෙන් වන්නේ, නැරඹුම් පරිශ්‍රය සඳහායි.

ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් මේ කොටසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකි බව පැවසෙනවා.

POPULAR

Recent articles