”කිසිදු රටක් හෝ සංවිධානයක් ඇවිත් ලංකාව ගොඩදාන්නේ නෑ” – අනුර දිසානායක

තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතිවලින් අර්බුදය විසඳිය නොහැකි බව ජවිපෙ නායක, ජාජබ මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප කවුරු සාමූහිකව ආණ්ඩුවක් ගොඩනැඟුවත් එළියේ බලයක් නිර්මාණය වන බවයි ඔහු කියන්නේ.
“අපේ රට මේ නිශ්චිත මොහොතේ තිබෙන්නේ ඉතාමත් දරුණු ආර්ථික, සමාජීය අර්බුදයක. බොහෝ අය මෙම අර්බුදය ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් ලෙස හුවාදක්වන්න උත්සාහ දරනවා. මෙම අර්බුදයට ආර්ථික ප්‍රතිපත්තියත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉවහල් වී තිබෙන බව අප විශ්වාස කරනවා. මේ අර්බුදයේ පදනම වන්නේ අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් මේ දේශපාලන සංස්කෘතියෙන් මිදීම සඳහා වූ දැක්මක් හා සැලැස්මක් අපට තිබිය යුතුව තිබෙනවා.

එසේ නොමැතිව අපට කවර ආර්ථික සංවර්ධන යෝජනාවන් තිබුණත් ආර්ථික ප්‍රතිපත්තීන් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි. මේ විනාශකාරී, නාස්තිකාරී, දූෂණ, තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතියක් තබාගෙන කටයුතු කිරීම නිසා මේ අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි. එය තමයි මේ අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රධානම පදනම. ඒ වගේම පිටින් කවුරු හෝ පැමිණ මේ අර්බුදයෙන් අපව ගොඩදමා දෙයිද? සමහරුන් කල්පනා කරනවා විදේශීය මූල්‍ය සමාගම් විසින් අපව ගොඩදමා දෙයි කියා.

විදේශීය සංවිධාන විසින් හා විදේශීය රටවල් විසින් මේ අර්බුදයෙන් මුදා ගනීවි කියා සමහරුන් විශ්වාස කරනවා. කඩා වැටුණු කිසිදු රටක් කිසිම සංවිධානයක් හෝ විදේශීය රාජ්‍යයක් විසින් ගොඩදමා දෙන්නේ නැහැ. අපි සමත් විය යුතුයි එම සංවිධානවල සහ එම විදේශීය රාජ්‍යයන්ගේ සහාය ලබාගැනීමට. හැබැයි මෙම ගොඩගැනීමේ ශක්‍යතාව තිබෙන්නේ මේ රට තුළින් ඇතිකර ගන්නා වෙනසකින් විතරක් පමණයි. වෙන කිසිවෙක් මෙම අර්බුදයෙන් අපව ගොඩදමා දේවි කියා විශ්වාස නොකළ යුතුයි. අපේ රටේ මානව සම්පත, අපේ රටේ සම්පත්, අපේ රටේ පිහිටීම, අපේ ශිෂ්ටාචාරය, ලෝක දේශපාලනය මේ සියල්ල ඉතා හොඳින් මැනවින් කළමනාකරණය කරමින් අපේ ශක්‍යතාව උඩට ගැනීමෙන් පමණයි මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවන්නේ.

එසේ නොමැතිව හුදු වචන වලින් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඒ වගේම ලෝක ඉතිහාසයේ සෑම තැනකම මෙවැනි කඩා වැටුණු අර්බුදයකදී ඒ කඩා වට්ටන්න දායකවූ අය විසින් කඩා වැට්ටූ රටක් ගොඩ අරගෙන නැහැ. මෙවැනි කඩා වැටුණු දේශපාලන ව්‍යාපාර, ආණ්ඩු පමණක් නොවෙයි පොදු ජනයාගේ සක්‍රිය මැදිහත් වීමක් අවශ්‍යයි. එය දරා ගැනීම, කාර්යක්ෂමභාවය, මැදිහත් වීම, මේ සියල්ල සහිත පොදු ජනයාගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ පොදු ජනයාගේ මැදිහත් වීම උද්දීපනය කරන්නේ කෙසේද කිසිසේත්ම කඩා වැටීමට වගකිව යුතු අය, මේ විනාශය ඇති කිරීමට මූලික වූ අය මුලසුනේ තබාගෙන පොදු ජනයාගේ උද්දීපනයක් ඇති කරන්න බැහැ” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles