ධම්මික පෙරේරා දිවුරුම්දෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මෙලෙස පත්කර තිබෙනවා.

1967 දෙසැම්බර් 28 වෙනිදා කළුතර, පයාගල දී උපන් ධම්මික පෙරේරා දැන් 54 වියැති අයෙක්.

හොරණ, තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ධම්මික පෙරේරා ඔහු 1986 දී වයස අවුරුදු 19 වෙද්දී තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි කියන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා (NDT) පාඨමාලාව හදාරමින් සිටිය දී ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඉන් ඉවත් වූ බව කියනවා.

ඔහු කොල්ලුපිටියේ ඉලෙක්ට්‍රොනික පරිපථ පුවරු අලුත්වැඩියා කරන ටිටෝ ඉලෙක්ට්‍රොනික්ස් නම් ඉලෙක්ට්‍රොනික වෙළඳසැලක් ද පවත්වාගෙන ගියා. ඉන්පසු 1993 දී තමාගේම කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කළා. 1995 දී නියොන් බල්බ නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ එම බල්බ් අලෙවි කිරීමට නිෂ්පාදකයන් කිසිවකු උනන්දු නොවූ අවස්ථාවක යි.

1992 වසරේ රෝයල් සෙරමික් සමාගම පාඩු ලබමින් තිබිය දී එහි හිමිකාරීත්වය මිල දී ගෙන පවරා ගැනීමට තීරණය කළ ධම්මික පෙරේරා, 2000 දී එහි හිමිකරු බවට පත් වුණා. ඔහු 2002 දී පෑන් ඒෂියා බැංකුව මිලදී ගත්තේ එම බැංකුව පාඩු ලබන මූල්‍ය ආයතනයක් ලෙස සැලකූ අවස්ථාවක යි. 2002 දී පෑන් ඒෂියා බැංකුව අත්පත් කර ගැනීමෙන් පසු ඔහු තවත් ව්‍යාපාරිකයෙකු වූ නිමල් පෙරේරා සමඟ හවුල් වුනා. 2014 සිට Vallibel Finance හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

2013 දී ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බව යි කියන්නේ. එවර ඔහුගේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 72.6 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 550)ක්.

Vallibel Finance, Vallibel Power Erathna, The Fortress Resorts, The Queensbury Leisure Ltd සහ Delmege Limited වැනි ප්‍රධාන මූල්‍ය ආයතනවල ප්‍රධාන කොටස් ඔහු සතු දේපල යි. Hayleys , Royal Ceramics Lanka, Horana Plantations සහ LB Finance හි වත්මන් සම සභාපතිවරයා ව සිටියේ ධම්මික පෙරේරා යි. Amaya Leisure , Haycarb, Hayleys Fabric PLC, The Kingsbury , Dipped Products සහ Lanka FloorTtiles හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්.

පෙරේරා 2017 වසරේ ලංකා ටයිල්ස් හි සභාපති වූ අතර හේලීස් විසින් සිංගර් මිලදී ගැනීමට එකඟ වීමෙන් පසු 2017 ඔක්තෝම්බර් මාසයේදී සිංගර් (ශ්‍රී ලංකාව) හි සම සභාපති ලෙස පත් වුනා. 2017 දී ලංකා සෙරමික් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද නමුත් ඔහු එයින් ඉවත් වුණේ 2018 අගෝස්තු 31 දින යි.

බලපත්‍රයක් සහිතව කැසිනෝ පවත්වාගෙන යාමේ පසුබිම පෙරේරාගේ පසුකාලීන සමාගම්වල කළමනාකරණය සඳහා වූ මුදල් සැපයූ උල්පත බවයි කියන්නේ.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද නමුත් පොදු ප්‍රවාහනයේ කිසිදු දියුණුවක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට ඔහු අපොහොසත් වූ බව ක්ෂේත්‍රයට සම්බන්ධ අය පවසනවා. 2007 අප්‍රේල් සිට 2010 මැයි දක්වා BOI සභාපති ලෙසත් ඔහු කටයුතු කළා.

2019 ජූලි මාසයේ දී ධම්මික පෙරේරා සහ ඔහුගේ සමාගම හේලීස් සමාගමට කසළ වංචාවක් හරහා ආදායමක් උපයා ඇති බවට චෝදනා එල්ල වූ අතර එය මතභේදාත්මක කාරණයක් වූයේ එක්සත් රාජධානියෙන් කසළ ටොන් ගණනක් මෙරටට ආනයනය කර බැහැර කිරීමෙන් පසුව යි.

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හේතුවෙන් රජයට ආදායම් නොලැබීම නිසා බදු වංචා කරන්නන් ගැන ශ්‍රී ලංකා රජය සොයා බැලීමට පටන් ගත් පසු ප්‍රිසිලා පෙරේරාගේ සැමියා මෙන්ම දියණියන් තුන්දෙනෙකුගේ පියෙකු වන ධම්මික පෙරේරා, තමන්ට අයත් Bally’s Casino සඳහා 2022 ජුනි මාසය වන විට රුපියල් මිලියන 575 ක බදු ගෙවා නොතිබූ බව හෙළි වුනා.

POPULAR

Recent articles