“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන මූල්‍ය සහ නීති උපදේශක සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට පැමිණි බව අගමැති පවසයි. එහෙත් ඒ සම්බන්ධව සිදු කෙරෙන ගෙවීම් පිළිබඳව මේ දක්වා කිසිඳු නිල තොරතුරක් අනාවරණය වී නැහැ.

1948 වසරින් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට හමුවේ පසුගියදා පළමු වරට ණය වාරික ගෙවීම් පැහැර හැරීමක් සිදුකරනු ලැබුවා. ඩොලර් බිලියන 12 කට අධික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බැවින් විශේෂඥ සහය සහ ඊට අදාළ මැදිහත් පාර්ශ්වකරුවන් පත් කිරිමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන බවයි ආණ්ඩුවේ පාර්ශවය පවසන්නේ.

Lazard හී වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයා වන්නේ Kenneth M. Jacobs ය. 1840 ගණන්වල ප්‍රංශ සහෝදරයන් පස් දෙනෙකු සහ ඥාති සොහොයුරන් කිහිප දෙනෙකු එක්සත් ජනපදයට සංක්‍රමණය වීමත් සමඟ මෙම සමාගම ආරම්භවී තිබෙනවා. 1848 දී ඇලෙක්සැන්ඩ්‍රේ, ලාසාරේ සහ සයිමන් ලාසාඩ් වියළි භාණ්ඩ වෙළෙන්දෙකු ලෙස නිව් ඕර්ලියන්ස් හි Lazard Frères & Co. ආරම්භ කළ බවයි කියන්නේ. තවමත් ගෝලීය සබඳතා ජාලය පුළුල් කරමින් සිටින Lazard හට රටවල් 26ක් පුරා නගර 41ක කාර්යාල තිබෙනවා.

Clifford Chance හී වත්මන් ප්‍රධානියා Matthew Layton. එහි හි මූලයන් 1800 ගණන්වල මුල් භාගයේ ලන්ඩන් නගරය දක්වා දිවෙනවා. 2000 දී, Clifford Chance ජර්මනියේ Pünder Volhard Weber & Axster සහ New York හී Rogers & Wells සමඟ විශාල ජාත්‍යන්තර ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ කිරීමක් සිදු කළා. සමාගම් තුනේ විශේෂඥතාවේ එකතුව විසින් ලොව ප්‍රථම ගෝලීය නීති සමාගම නිර්මාණය කළ බවයි කියන්නේ. අද දක්වාම, යුරෝපය, ආසියා පැසිෆික්, ඇමරිකාව සහ මැදපෙරදිග පුරා විශේෂඥ දැනුම විශාල මුදලකට සපයන Clifford Chance රටවල් 31ක සිය කාර්යාල පවත්වා ගෙන යනවා.

POPULAR

Recent articles