ඉන්දියාවේ ළමා යාචක මාෆියාව

දොළොස් හැවිරිදි ‘ආමීර්‘නිවසින් පලා ආවේ නිතර දෙවේලේ කටගොන්නක් බී ගත් තම බේබදු පියාගෙන් සිදුවන අතවර තවදුරටත් දරාගත නොහැකිවූ තැන ය. වික්ටෝරියා දුම්රියපළට පැමිණි ආමීර් එහි නවත්වා තිබු දුම්රියකට හොරෙන් රිංගා ගත්තේ ඔහුගේ සිහින නගරය වු මුම්බායි නුවරට යාමට යි. ඇඳිවත පමණක් ඇතිව නිවසින් පලා ආ ආමීර්ට, අතේ සතයක්වත් නොමැතිව කෙසේ හෝ  මුම්බායි නුවරට සේන්දු වූ කල සිතට දැනුණු තනිකම හා බිය අපමණ ය. මිලියන විස්සකට අධික ජනකායක් වෙසෙන ඉන්දියාවේ ඉන් මිලියන නවයකටත් වැඩි පිරිසකට වාසස්ථානය වන්නේ මුම්බායි නගරය යි.

පණුවන් නටන පල්වතුර පිරුණු කුණු කානුවලින් හා, දුගඳ හමන කුණු කඳුවලින් පිරීගිය මුඩුක්කුවලින් මුම්බායට අඩුවක් නැත. එනුවර මැද සිටගෙන සිටි කුඩා ආමීර්ට දැනුනේ තමා මංමුළා වූ බවකි. පිටිසරබද ගමක හැදී වැඩුණු ආමීර්ගේ සිතේ මුම්බායි නුවර ගැන මැවී තිබුණේ මීට වඩා හාත්පසින් ම වෙනස් චිත්‍රයකි.

චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ ධාරාවී මුඩුක්කුවේ දර්ශනයක් – info-war.gr

මුම්බායි යනු සුපිරි බොලිවුඩ් තාරකාවල පහස ලබන, රන් ඇතිරූ වීදීවලින් සමන්විත සිහින නගරයක් බවයි ආමීර්ගේ  විශ්වාසය වුණේ. හිතේ ඇඳි මුම්බායි නගරයට වඩා තමා දකින මුඩුක්කු පැල්පත් ගහණ මෙම ජනාකීර්ණ නගරය බෙහෙවින් වෙනස් බව ආමීර්ට අවබෝධ වනවිට පරක්කු වැඩි ය. බිය පරයා කුසගින්න නැගීඑද්දී දෙනෝදාහක් අතර තනි වූ ආමීර්ට සිඟමන් යදිනවා හැරෙන්නට කරන්නට අන් යමක් තිබුණේ නැත. ප්‍රසන්න පෙනුමින් යුතු වයස්ගත යුවළක් ආමීර් හා මිතුරු වන්නේ ඔහු එලෙස වීදියක් අයිනේ අතපාමින් සිටින විටකදී ය.

පාදයක් අහිමි කළ කේක් කැබැල්ල

මවත් අහිමි ව, බේබදු පියාගෙන් බැට කා මෙලොව තනි ව සිටි කුඩා ආමීර්ට මේ යුවලගේ කරුණාව ප්‍රතික්ෂේප කරන්නට සිත් දුන්නේ නැත. ඔවුන් ඔහුට පිළිගැන්වූ දිව පිනවන කේක් කැබැල්ලේ රසයෙන් කුසගිනි නිවී සිත කුල්මත් ෙවද්දී, පියවි සිහිය ඔහු වෙතින් පලා ගොස් තිබිණි. මුම්බායි නගර සභාවට අයත් රෝහල් ඇඳක් මත ආමීර් සිහිය ලබද්දී ඔහු සිටියේ දරා ගත නොහැකි වේදනාවකිනි. හොඳට තිබූ ඔහුගේ දකුණු කකුල සැත්කමකින් දණහිසට ඉහළින් කපා දමා තිබිණි. 

 ජීවිත කාලයට ම අබ්බගාතයකු වු පුංචි ආමීර් අපට මුණ ගැසෙන්නේ සුප්‍රකට  ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ ( Slum dog Millionaire ) චිත්‍රපටයේ ජවනිකාවකින් නොවේ. යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනි. ආමීර්ගේ කතාව යාචක මාෆියාව නිසා වසරක දී මෙලෙස ආබාධිත තත්වයට පත්වන හතළිස්හතර දහසක් වු සමස්ත ඉන්දීය ළමා යාචක ප්‍රජාවගේ ම දුංඛිත ඉරණම කියා පාන්නකි.

ඉන්දීය මුඩුක්කු
මුම්බායි නුවර මුඩුක්කු දරුවෝ – theconversation.com 

පහළොස් හැවිරිදි ‘ඩැල්බීර්‘ ද ආමීර්ගේ ඉරණමට ම ලක්වු ළමා යාචකයෙකි. මව්පියන් අහිමි වූ පසු කුසගිනි ඉවසන්නට බැරිතැන ඩැල්බීර් කළේ  රේල්ලුවේ සිඟා කෑම ය. සිඟමන් යදිමින් සිටි ඩැල්බීර්ට ද පාදයක් අහිමි වන්නේ ඉන්දියාවේ පිළිලයක් බවට පත්ව තිබෙන යාචක මාෆියාව නිසා ය. ඩැල්බීර් හා ආමීර් වැනි අනාථ ළමයින්  යාචක වෘත්තීයේ යෙදවීමෙන් නොනැවතී, ඔවුන් සදාකාලික අබ්බගාතයන් කොට මඩිය තර කරගන්නා කූඨ යාචක මාෆියාවක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ.

එහි ගොදුරු බවට පත් ව, වීදීවල සිඟමන් යදින ඩැල්බීර් වැනි දහස් සංඛ්‍යාත මුඩුක්කුවාසී ඉන්දීය ළමයින්ගේ ඉරණම අතිශයින් ම ඛේදනීය ය. එවැනි ළමයින්ගේ අනුවේදනීය කතාව ලෝකයා හමුවට ගෙන ආවේ බ්‍රිතාන්‍ය ජාතික ඩැනී බොයිල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී ඔස්කාර් වේදිකාවටත් ගොඩවූ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටය යි.   

sharuk munshi
චිග්‍රපටයේ රඟන මුඩුක්කු දරුවකු වන ෂාරුක් මුන්ෂි සිය මුඩුක්කු නිවස ඉදිරිපිට – dailymail.com

‘අසභ්‍ය දරිද්‍රතාව‘ නිරූපණය කරන චිත්‍රපටයක්

සිඟමන් යැදීම නාගරික මුඩුක්කුවලට ම සරි වූ, මහා පරිමාණ කූඨ මාෆියාවක් කර ගත් තක්කඩි මැරයන්ගේ ගොදුරු බවට පත්වන ආමීර් හා ඩැල්බීර්  වැනි ළමා අසරණයෝ බොහෝ ය. ඔවුන්ගේ ඒ ශෝචනීය කතාව ජාත්‍යන්තරයට ගෙන ගියේ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ හි සලීම්, ජමාල් හා ලතිකා ය. එම ප්‍රයත්නයේදි සමස්ත චිත්‍රපටයටම එල්ලවූ ගල්මුල් අපමණය. ‘අසභ්‍ය දරිද්‍රතාව‘ නිරූපණය කරන චිත්‍රපටයක් ලෙස එය හංවඩු ගැසුණේ වරක් දෙවරක් නොවේ. ඉන්දියාව තක්කඩි මැරවරයන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් දූෂිතවූ තුන්වන පන්තියේ රටක් ලෙස අපවාදයට ලක් කිරිමේ අරමුණින් නිර්මාණය වූවක් බවට ද,  ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ ඉන්දීය විචාරකයන්ගේ හෙළා දැක්මට ලක්විය. මුම්බායි යාචක මාෆියාවේ සැබෑ ස්වරූපය ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘  නිර්මාණකරුවන්ගේ පරිකල්පන ශක්තියටත් එහා ගිය බිහිසුණු බවින් අනූන වූවකි.

මංසන්ධිවල අතපාන්නෝ
සිඟමන් යදින ආබාධිත දරුවෙක් – dailymail.com

බිලියන 1.2 ක ජනතාවක් වෙසෙන, ධනපති හා නිර්ධන පන්ති අතර පරතරය අහසට පොළව මෙන් වූ ඉන්දියාවේ වීදීවල ගැවසෙන ළමා යාචකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මව යි. එලෙස යාචක වෘත්තීයේ යෙදවීම සඳහා ළමයින්ට වයස් භේදයක් බලපාන්නේ ද නැත. අත දරුවන්ගේ සිට වයස අවුරුදු දහාහතර හෝ ඇතැම්විට ඒ ඉක්ම වූ සිඟන දරුවන් ද මුම්බායි වීදීවල සුලබ ය.

කුඩාවුන්ගේ අත් පා කපා දමා, දෑස් හෝ සිරුරේ නොයෙකුත් ස්ථාන මතට ඇසිඩ් වත්කොට,  බලන්නට බිය උපදවන තුවාලවලින් ගැවසුණු ශරීර ඇති ආබාධිතයින් බවට, පැහැර ගත් ළමයින් පත්කෙරෙන්නේ ද යාචක වෘත්තීයේ නාමයෙනි. ඒ මුම්බායි නුවර සූක්ෂම ලෙස පවත්වාගෙන යන යාචක මාෆියාවේ තවත් එක් බියකරු පැතිකඩක් පමණි. එවන් බියකරු ඉරණමකින් ගැලවී පලායන ජමාල් හා ලතිකාගේ ජීවිතවලට සුන්දර අවසානයක් ලබා දීමට ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටය සමත් වුවත්, මුඩුක්කුවලටම දියව යන සැබෑ ජීවිතයේ ළමා යාචකයන්ගේ ඉරණම බෙහෙවින් දුක්ඛිත ය.   

චිත්‍රපට පෝස්ටරයක්
‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටයේ පෝස්ටරයක්   amazon.com 

පෙනුම දුක්ඛිත වන තරමට සිඟමන් වැඩියෙන්

පෙනුම දුක්ඛිත වන තරමට වැඩි වැඩියෙන් සිඟමන් ලැබෙන බව දන්නා යාචක මාෆියා නායකයෝ එබඳු දරුවකුගෙන් දිනකට ඇමරිකානු ඩොලර් දහයක් පමණ උපයා ගන්නෝ ය. ඉන් දහයෙන් පංගුවකින් දවස සරි කරගන්නා මිලියනයක් පමණවූ දිළින්ඳන් වෙසෙන රටක යාචක දරුවකුට මෙබදු මුදලක් ලැබීම ලොතරැයි දිනුමක් ලැබුණා හා සමාන ය. නමුත් එම අසරණයන්ට ඔවුන් දහඩිය මුගුරු හෙළමින්, ගිනිගහන අව්වේ දැවෙමින් දුක සේ උපයා ගන්නා මුදල්වල ප්‍රීතිය භුක්ති විඳීමට වාසනාවක් නැත.

ඒ සෑම දිනක ම අවසානයේ දී සිඟමනින් උපයා ගන්නා මුදල් මාෆියා නායකයන්ට ලබා දීම හැර අන් විකල්පයක් ඔවුන්ට නැති නිසා ය. නැතිනම් සිත්පිත් නොමැති ලෙස ගුටි කෑමට හෝ ඊටත් වඩා දරුණු ඉරණමකට ලක් වීමට ඔවුන්ට සිදුවන බව කියන්නේ ‘ජහාන්‘ය. ජහාන් යනු මුම්බායි නුවර යාචක මාෆියාවෙන් මඩිය තරකර ගන්නා තවත් එක් මැරවරයෙකි. තම යාචක දරුවන් වැඩමුර ක්‍රමයට සිඟමනේ යොදවා ඩොලර් පනහකට වැඩි ගතමනාවක් දෛනික ව සොයා ගැනීමට ඔහු සමත් ය.

ඊට අමතර ව මෙම යාචක දරුවන් ලවා කොකේන්, හෙරොයින්, හෂීස්, හා අබිං වැනි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, විදේශිකයන්ට අලෙවි කිරීම ද ජහාන් ජයට ම කරගෙන යයි. අබිං වලින් කහට ගැසුණූ තම දත් විලිස්සා කුරිරු තෘප්තියකින් යුතුව ජහාන් කියන්නේ අල්ලස් ලබා දුන් විට මෙබදු ජාවාරම්වලට පොලීසියෙන් ද බාධාවක් නැති බවයි.

ජමාල්, සලීම් හා ලතිකා
චිත්‍රපටයේ එන සලීම්, ජමාල් හා ලතිකා  –  dailymail.com

සිඟමනට අමතරව මත්ද්‍රව්‍ය අලෙවියත් සරුවට

‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටයේ කතා නායකයින් දෙදෙනා වන කුඩා සලීම් හා ජමාල් මැරවර අත්අඩංගුවෙන් මිදී පලා යන්නේ සදාකාලික ආබාධිත තත්වයට පත්වීමට පෙර ය. සැබෑ තත්වය යටතේ බලහත්කාරයෙන් යාචක වෘත්තියේ යොදවන ළමයින්ට ඉන් මිදීමක් ගැන සිතන්නටවත් නොහැක. ඊට එක් හේතුවක් වන්නේ එසේ පලා යාමට ගොස් හසුවූ විට මරණය නියත බව ඔවුන් දන්නා නිසා ය. අනෙක් ප්‍රධාන ම අවාසනාවන්ත හේතුව නම් තමන් ම ලබාදෙන මත්ද්‍රව්‍යයන්ට මෙම ළමයින් ඇබ්බැහි කරවීමට යාචක මාෆියාකරුවන් ක්‍රියා කිරීම යි.

ළමයින් අඩපණ කොට තම පාලනය යටතේ තබා ගැනීමට මැර නායකයන් අවියක් කරගන්නේ මත්ද්‍රව්‍ය ය. මත්වතුරට හා මත්කුඩුවලට ඇබ්බැහි වූ මෙම ළමා යාචකයන් පුනරුත්ථාපනයට යොමු කළ ද, ඉන් පලා ගොස් යළිත් සුපුරුදු දුක්ඛිත ජීවිතය ම කරපින්නා ගන්නෝ ය. යාචක මාෆියාවේ ගොදුරක් බවට පත්ව, අතක් ද අහිමිව සිඟමනට වැටුණු නව හැවිරිදි ‘ටුෆ්කාර්‘ කියන්නේ මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා අවාසනාවන්ත යථාර්ථය අමතක කිරීමට හැකි බව ය.

ළමා යාචකයකු ලෙස ලද අප්‍රසන්න අත්දැකීම්

දහඅට හැවිරිදි ‘ෆ්ලින්ටොෆ්‘  කලක් ළමා යාචකයකු ලෙස වීදී සැරිසැරූවෙකි. පසුව මාෆියා නායකයකු ලෙස ද කලක් යාචක ව්‍යාපාරය සරුවට ම කරගෙන ගිය ෆ්ලින්ටොෆ් මෙම සාහසික වෘත්තීයට තිත තැබුවේ ළමා යාචකයකු ලෙස ලද අප්‍රසන්න අත්දැකීම් නිසා ම ය. ඉඳහිට සොරකම් කරමින් ද, මත්ද්‍රව්‍ය අලෙවි කරමින් ද, ජීවිතය ගැටගසා ගන්නා ෆ්ලින්ටොෆ් ම පවසන පරිදි මෙම මාෆියාකරුවන් ‘නොමිනිසුන් ය‘. ඔහුගේ මෙම කියමනට එකඟත්වය පළකරන තිස්තුන් හැවිරිදි ‘මෝහිනි නෙරූර්කාර්ට‘ තම අලුත උපන් බිළිඳා අහිමිවූයේත් මෙම  යාචක ව්‍යාපාරයේ බලපෑමෙනි.

දරුවා බිහිකළ රෝහලේදී ම ඇගේ ඇස් වසා,  බිළිඳා පැහැර ගන්නා විට ඔහු මෙලොවට බිහිව ගත ව තිබුණේ සිව්දිනක් පමණි. මෝහිනිගේ අලුත උපන් බිළිඳා එලෙස දිනක් පාසා පැහැර ගැනෙන සිය ගණනක් වූ ඉන්දීය ළදරුවන් අතරින් එක් අයකු පමණි. කුලී පදනම පිට ලබා ගන්නා මෙම නොදරුවන්, කර්කෂ කාලගුණික තත්ව යටතේ පවා සිඟමනේ යෙදවීමට මාෆියාකරුවන් පසුබට වන්නේ නැත. මෙම ළදරුවන් සිඟමනේ යවන්නේ දකින්නාට අනුකම්පාව උපදවන අයුරින් නිදිබර රෝගී ස්වභාවයක් පළ කිරීමට මත්ද්‍රව්‍ය පෙවීමෙන් අනතුරුව ය. නැතහොත් දින ගණනාවක් කුඩා ඉඩ කඩක සිරකොට කුසගින්නේ තබා, කුසගිනි වේදනාවෙන් කෑගසන තත්වයට පත් කිරීමෙන් පසු ය.  

මුඩුක්කු දරුවෝ
දුකසේ උපයාගත් ආහාර වේලක් භුක්තිවිඳින මුඩුක්කු දරුවෝ – dailymail.com

මංසන්ධිවල අතපාන ළාබාල යාචක අම්මලා   

‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටයේ ජමාල්ගේ පෙම්වතිය වන්නේ ඔහු මෙන් ම මුඩුක්කු දැරියක වන ‘ලතිකා‘ ය. අවුරුදු නවයක් පමණවූ ළපටි වියේදි ඇය කූඨ මාෆියාකරුවන්ගේ තර්ජන හේතුවෙන් තමාට ඔසවා ගැනීමටවත් නොහැකි ළදරුවකු කරපින්නාගෙන සිඟමනට යන්නී ය. ඒ ඇගේ ඉරණමට ලක්වු තවත් දහස් ගණනක්වූ යාචක දැරියන්ගේ ඛේදවාචකය ජාත්‍යන්තරය හමුවේ නිරාවරණය කරමිනි. අතොරක් නැතිව හඬන දරුවන් කරපින්නා ගත් මෙබදු බාලවයස්කාර මව්වරුන්, ඉන්දියාවේ මංසන්ධිවල බහුල ය.

රතු එළි වැටී වාහනයක් නැවැත්වූ විගස මොවුන් මෝටර්රථ වෙත පැමිණ වසා ඇති වීදුරුවලට තඩි බාමින් තම අසරණකම වචනවලට පෙරළන්නෝ ය. ඔවුන් කෙතරම් තාත්වික රංගනයක යෙදෙන්නේ ද යත් යාචක මාෆියාව ගැන දන්නා පුද්ගලයන් පවා සිත උණු වී මුදල් ආධාර ලබාදෙන අවස්ථා බොහෝ ය. එතරම් දක්ෂ ලෙස මෙම මුඩුක්කු දරුවන් පුහුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ යාචක මාෆියාවේ මහා මොළකරුවන්ට ය.

ඩැනී බොයිල්
ඩැනී බොයිල් ඔස්කාර් සම්මානය සමඟ   britannica.com 

චිත්‍රපටයේ කියැවෙන ආකාරයටම මුම්බායි යාචක මාෆියාවේ භයානකම අංගය නම් දරුවන්ගේ අත් පා කපා දමා දෑස් අන්ධ කිරීමේ මහා පොළොව නුහුලන අපරාධය යි. නීරෝගි දෑත් හා දෙපා කපා දැමීමෙන් වද දෙන හෘදසාක්ෂියෙන් ගැලවෙනු සඳහා මොවුන් කරන්නේ කපා දැමීමට නියමිත අවයවය ස්වභාවිකව කුණුවන්නට සැලැස්වීමයි. ඒ සඳහා එම අවයවයේ රුධිර නාලිකා ගැට ගසා, පළමුව එම ප්‍රදේශයේ රුධිර ගමනාගමනය වළක්වයි. එලෙස කුණු වන්නට ඉඩ හැරෙන අවයවය පසුව කපා ඉවත් කිරීම සිදුවේ.

වේදනාව කෙතරම් දරුණු වුවත්, එලෙස අහිමි වන තම දෑත් හා දෙපා පිළිබඳ විස්තර හෙළිකිරීමට පවා මෙම යාචක දරුවන් කිසිවිටෙක පෙළඹෙන්නේ නැත. ඒ තම නායකයින්ට තමන් පිළිබඳ සුලු හෝ සැකයක් ඇති වුවහොත් අතපය පමණක් නොව දිවද අහිමිවන බව පැහැදිලි ව දන්නා නිසා ය. ආසියාවේ දැවැන්ත ම මුඩුක්කු ජනාවාසය වන ‘ධරාවී‘ මුඩුක්කුව පිහිටි මුම්බාය මෙන්ම ඔරිස්සා, කේරළ, හා තමිල්නාඩු යන ප්‍රාන්තවලත් ඔඩුදුවා තිබෙන යාචක මාෆියාවේ බියකරු යථාර්තය එයයි. 

ස්ලම්ඩෝග් නිසා පාසල් ගිය මුඩුක්කු දරුවෝ

 දුක්ඛාන්තයකින් ඇරඹී සුරංගනා කතාවක බදු සුඛාන්තයකින් අවසන් වන ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘, අති මහත් උනන්දුවක් ලෝක ප්‍රජාව තුළ ඇතිකිරීමට සමත්විය. එය ඉන්දීය යාචක මාෆියාව අරබයා නිෂ්පාදනය වූ වාර්තා වැඩසටහන්වලින් හෝ පුවත්පත් ලිපිවලින් හෝ එතෙක් නිර්මාණය කිරීමට අසමත්වූ ආකාරයේ අවධානයකි. සලීම් (ජමාල්ගේ වැඩිමල් සොයුරා) හා ලතිකාගේ ළමාවිය නිරූපණය කළ මුඩුක්කු ජනාවාසයකින් පැමිණි අසාරුදීන්ට හා රුබිනාට ජීවිතයේ පළමුවරට පාසැල් යාමට ලැබුණේ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ නිසා ය. අධ්‍යක්ෂ බොයිල් හා නිෂ්පාදක ක්‍රිස්ටියන් කෝල්සන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් භාරකාර අරමුදලක් පිහිටුවද්දී, චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය හා රංගන ශිල්පීන්ද නිකම් සිටියේ නැත.

anil kapoor
අනිල් කපූර්           short-biography.com

බ්‍රිතානය පවුම් පන්ලක්ෂයක මුදලක් මුඩුක්කුවාසී දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ‘Plan India’ පදනමට බැර කෙරුණේ ඒ සියලු දෙනාගේ දායකත්වයෙනි. චිත්‍රපටයේ ලක්ෂපති තරගය මෙහෙයවන සුප්‍රකට ඉන්දීය නළු ‘අනිල් කපූර්‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලද මුළු මුදල තමා තානාපතිවරයකු හා භාරකරුවකු ලෙස ක්‍රියා කරන ඉහත පදනමටම පරිත්‍යාග කළේ ය. ඒ තවත් දහස් ගණනක්වූ ජමාල් හා මලික්ලාගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණිනි. එතෙක් කල් හුදෙක් මවාපෑමක් ලෙස අවඥාවෙන් බැහැර කළ, හය හතර නොතේරෙන දරුවන් ආබාධිත කිරීම ගැන සංවිධානගත විමර්ශනයක් ඇරඹීමට එකල ඉන්දීය අගමැති මන්මෝහන් සිං පෙලඹුවේ ද ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්‘ චිත්‍රපටය ජාත්‍යන්තරයේ හිමිකර ගත් කීර්තිය හා පිළිගැනීම ය.

Roar Media වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී

POPULAR

Recent articles