“විශ්වවිද්‍යාල විවෘත කරන්න ආණ්ඩුව බයයි” – වසන්ත මුදලිගේ

සිසු ජන විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව විශ්වවිද්‍යාල වසා දමා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරනවා. මේ හේතුවෙන් අදවන විට කිසිදු විශ්වවිද්‍යාලයක් සියලු සිසුන්ට මෙතෙක් විවෘත කර නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

අද (02) දින එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ට උපාධිය ලබාගැනීමට සඳහා වසර 5කට වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි.

“විශ්වවිද්‍යාල පද්ධතිය විතරක් අද වෙනතුර තවමත් දින නියමයක් නොමැතිව වහලා දලා තියෙන්නේ. කිසිදු විශ්වවිද්‍යාලයක් සියලු සිසුන්ට විවෘත කරලා නැහැ. එතකොට අවුරුදු 13ක් දුක්මහන්සි වෙලා අධ්‍යාපනය අරගෙන විශ්වවිද්‍යාලයකට එන්නට කන කට්ට මේ රටේ දෙමාපියන් දන්නවා. ඒ සිසුන්ට වෙලා තියෙනවා දැන් අවුරුදු 5 – 6කට වඩා වැඩිකාලයක් විශ්වවිද්‍යාලයේ ඉන්න. සමහර සිසුන්ට විශ්වවිද්‍යාලයට අඩියක්වත් තියන්න බැරිවෙලා තියෙනවා. දැන් 2018 අධ්‍යන වර්ශය, 2019 අධ්‍යන වර්ශය‍ සහ 2020 අධ්‍යන වර්ශය ගත්තට පස්සේ තවම හරියට විශ්වවිද්‍යාලයේ හරියට පස්පාගන්න අවස්ථාව ලැබිලා නැහැ. මොකද ඒ තරම් විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කරලා නැහැ. අද අපි ආවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එක්ක කථා කරන්න.

ආණ්ඩුව බයයි විශ්වවිද්‍යාල විවෘත කරාම, දැනුත් ආණ්ඩුවේ පුටුව රත්වෙලා තියෙන්නේ, රටේ සටන් කරන බලවේග පාරට බැහැලා තියෙන නිසා. එක පැත්තකින් ආණ්ඩුව හිතනවා මේ විරෝධතා යටපත් කරන්න, සිසු ජන විරෝධතා යට ගහන්න තියෙන හොඳම උපක්‍රමය තමා විශ්වවිද්‍යාල ටික වහලා අධ්‍යාපන පද්ධතිය අඩපණ කරන එක කියලා එක පැත්තකින්. අනෙක් පැත්තකින් ආණ්ඩුව මුදල් හොයන්න රජයේ විශ්වවිද්‍යාල වහලා දාලා පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කරන්න වැඩපිළිවෙලක් අරගෙන යනවා. මේ දෙකම කරද්දි විශ්වවිද්‍යා වහගෙන ඉන්න එක තමා ආණ්ඩුවේ සැලසුම. ළමයින්ගේ ජීවිත තඹ සතේකට ආණ්ඩුවට වැඩක් නෑ” යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

POPULAR

Recent articles