මත්තල හා රත්මලාන ගුවන්තොටුපොළවල් වැසීයාමේ අවදානමක්

රට තුළ පවත්නා දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ සහ දෛනිකව නඩත්තු කිරීමේ දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යන හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.

මෙම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්යය මණ්ඩල නඩත්තුවද මේ වන විට විශාල පිරිවැයක් දරන පෙරලා ප්‍රතිලාභයක් නොමැති තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන අතර ඒ වෙනුවෙන් දරන විශාල පිරිවැය ‘තේරුමක් නැති දෙයක්’ බවයි අදාළ නිලධාරිවරයා කියා ඇත්තේ. රත්මලාන ගුවන් තොටුපළද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව එහි සේවකයන් කියා තිබෙනවා.

රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්ම යි. එදින ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවයට පමණක් දළ වශයෙන් රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වෙනවා. එම මුදල වැය කරමින් එය ‘කොළඹ ගුවන් තොටුපළ’ ලෙස නම් කරනු ලැබුවා. ඒ මේ අසාරේ මාර්තු 27වෙනිදා යි.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන (CIAR) විසින් නියමිත ජාත්‍යන්තර සහ කලාපීය ගුවන් ගමන් එදින යළි ආරම්භ කළේ එවකට යෞවන හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ඊටඑවකට ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකත් සහභාගීවී තිබුණා.

POPULAR

Recent articles