ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපති, අගමැති ඇතුළු සියලු මැති ඇමැතිවරුන්ට තවත් ලිපියක්

ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින්, වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛවිහරණය සඳහා පමණක් යොමුවී සැමදෙනා කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති, අගමැති ඇතුළු සියලු මැති ඇමැතිවරුන්ට ලිපියකින් දන්වා තිබෙනවා.

මීට පෙර 2022 අප්‍රේල් මස 04 හා 20 දාතමින් ජනාධිපති වෙත රට තුළ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් වහා ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ අතර එකී යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අප්‍රේල් මස 21 දාතමින් දැනුම් දුන්න ද මේ වනතෙක් මහජනතාව පත්වී ඇති අසීරුතාව කෙරෙහි සංවේදී වෙමින් රට තුළ උද්ගත වී ඇති දේශපාලනික, ආර්ථික හා සමාජීය අර්බුද විසඳීමෙහිලා සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳ අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බවයි මහ නාහිමිවරුන් යවා ඇති ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ.

මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ මහ නායක ‍දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක මකුලෑවේ ශ්‍රී විමල හිමිවරුන්ගේ අස්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වෙනවා.

“මහජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින මෙවන් මොහොතක පාර්ලිමේන්තුව තුළ සිය පක්ෂ දේශපාලන රටාව සහ ඒ හා සබැඳි අභිමතාර්ථයන් සඵල කර ගැනීම වෙනුවෙන් මහජන මුදල් මිලියන ගණනින් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳිමින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වලංගු භාවයක් පවතීද යන්න ගැටලුවකි. ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සිදු කරන පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් කතා සහ යෝජනා ආදිය මගින් ඔවුන් තුළ දේශපාලනික පරිණතභාවයක් නොමැති බව ත් වත්මන් ගැටලු පිළිබඳ කිසිදු සංවේදී භාවයක් නොමැති බව ත් ප්‍රකට වනු පෙනේ. එහෙයින් තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන අනර්ථකාරී අත්තනෝමතික පක්ෂ දේශපාලන තීරණ තුළ එල්බ සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකුට සදාචාරාත්මක අයිතියක් තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතුව පවතී.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාම මේ මොහොතේ සාමූහිකව ජනහිතවාදීව මහජන විශ්වාසය දිනාගත හැකි විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු වෙයි. මෙරට රාජ්‍ය නායකත්වය ප්‍රමුඛ කොටගත් සෑම මහජන නියෝජිතයෙකු ම දේශයේ සුරක්ෂාවත් මහජන සුබසාධනයත් උදෙසා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බැවින් පටු ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් නොවී රටේ පවත්නා තත්ත්වය මනාව අවබෝධ කොටගෙන ජනතා හඬට සවන් දී රට දේශපාලනික වශයෙන් ස්ථාවර කොට ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුද විසඳා ගැනීමට උත්සුක විය යුතුවේ. එහෙයින් අප විසින් 2022 අප්‍රේල් මස 04 හා අප්‍රේල් මස 20 වන දාතමින් ඉදිරිපත් කරන්නට යෙදුණු ලිපිවල දැක්වෙන පරිදි එම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත නැවතත් මෙයින් දන්වා සිටුම්හ. සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සුසැදි සර්වපාක්ෂික පොදු අන්තර්කාලීන පාලන ක්‍රමයක් ගොඩනැඟීමට උත්සුක වන ලෙසද සිහිපත් කරම්හ.

මහ සංඝරත්නය ලෙස අපි කිසිවිටෙක ත් පටු දේශපාලන අරමුණුවලට ගොදුරුව කිසිවකු හෝ බලයට ගෙන ඒමට හෝ බලයෙන් ඉවත් කිරීමට අපේක්ෂා නොකරමු. එහෙත් නොයෙක් බාධක කම්කටොලු මැද සිවුපසයෙන් මහ සංඝරත්නය පෝෂණය කළ හා කරන ලංකාවාසී මහ ජනයා අද වන විට ඉහළ යන ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණභාවය පිළිබඳව අපි සංවේගයට පත්වී සිටිමු”

POPULAR

Recent articles