පාර්ලිමේන්තු පාර දින දෙකකට වසා දමයි

දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් දිවෙන පාර්ලිමේන්තු මාර්ගය අද (05) සහ හෙට (06) වසා තැබෙන බව, පොලීසීය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ග ද එම කාල සීමාව තුළ වසා තැබෙන බවයි.

විකල්ප මාර්ග නොමැති එම සීමාවේ පදිංචි ජනතාවට අනන්‍යතාව තහවුරු කර ගමන් කළ හැකි වනවා.

පොලීසීය පවසන්නේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන දිනවල ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ගමන් කිරීමේදී බාධා මතුවන බවයි.

පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් අදාළ තීරණය ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් ජනතාව පත්වන අපහසුතාව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලීමක් කර සිටිනවා.

POPULAR

Recent articles