“එක්දින වැඩ වර්ජනය සෙල්ලමකට ගන්න එපා” – වසන්ත සමරසිංහ

පසුගිය කාලය පුරාම මෙරට ජනතාව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තම විරෝධය දැක්වුවත් ආණ්ඩුව එය ගානකට ගත්තේ නැති බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා. විරෝධය ගණන් නොගෙන සිටි පාලනයක පාලකයන්ට රටේ ජනතාවගේ ඇත්ත ජනමතය දකින්න ඊයේ (28) පැවැත්වූ දැවැන්ත එක දින වැඩවර්ජනය උදව්වක් විය හැකි බවයි ඔහු කියන්නේ.

“මේ රටේ ඉතිහාසයේ දැවැන්තම එක්දින වැඩ වර්ජනය අපි ඊයේ පැවැත්වුවා. ඊට සහභාගී වුණු 1000කට වඩා වැඩි වෘත්තීය සමිති වලටත් අනෙකුත් හැම කෙනෙකුටමත් සංවිධායකවරු විදිහට අපි අපේ ආදරය පිරිනමනවා.

ආණ්ඩුවකට එරෙහිව විවිධ වෘත්තීන් නියෝජනය කරන විවිධ වෘත්තීය සංගම් එකතුවෙලා කරපු දැවැන්තම වැඩවර්ජනය මුළු රටම එක තැන එක දවසකට නතර කරලා දැම්මා. මේ වැඩවර්ජනය මේ පාලකයන්ට ගෙදර යන්න දුන්න සිග්නල් එකක්. වැඩ කරන ජනතාවත් ඈත ගම්නියම් ගම්වල හැම ආකාරයකම ආණ්ඩුවට එරෙහි ජනයාත් එකකට එක්වෙලා අපි ආණ්ඩුවේ මූණටම කණ්නාඩියක් ඇල්ලුවා. මහත්වරුනි දැන්වත් තමන්ගේ ආණ්ඩුවේ මුහුණ බලා ගන්න. දැන් යන්න වෙලාව හරි.

රාජපක්ෂලාටත් එයාලගේ හෙන්චය්යලාටත් එයාලගෙන් පස්සේ බලය ගන්න හිතන් ඉන්න සමහරුන්ටත් අපි කියන්නේ ඊයේ එක්දින වැඩ වර්ජනය සෙල්ලමකට ගන්න එපා. අනුරාධපුරේ, පොළොන්නරුවේ, රත්නපුර, මහනුවර, මාතලේ, මාතර, ගාල්ල, කුරුණෑගල, හම්බන්තොට, තංගල්ල වගේ රට පුරාම ජනතාව පාරට බැහැලා තමන්ගේ විරෝධය දැක්වුවේ විනොදෙට නෙමෙයි. සෙල්ලමකට නෙමෙයි. හැම වෘත්තියකම වැඩ කරන ජනයා තමන්ගේ වැඩ මෙන් එලියට ඇවිත් ආණ්ඩුවේ මූණට අල්ලපු කන්නාඩියෙන් දැන්වත් ඇත්ත දකින්න.

රට වටින්ම ඉතාමත් සාමකාමීව මහපාරට ආපු ජනතාව ඊයේ කිව්වේ ‘රාජපක්ෂලා දැන් ඇති, මේ ක්‍රමයත් හොඳටම ඇති කියන එක” බව වසන්ත සමරසිංහ පවසනවා.

ඊයේ දින පැවැත්වූ එක්දින වැඩවර්ජනය තව දින හතක කාලයක් පමණක් මේ රටේ පාලකයන්ට ලබාදුන් බවත් එක නොසලකමින් තවදුරටත් සුපුරුදු තක්කඩි ගේම් වලින් බලයේ ඉන්නට අදහස් කරන්නේ නම් නිසැකවම පාලනයත් පාලකයනුත් ගෙදර යවන හර්තාලය ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියනවා.

“ඊයේ දුන්න පණිවිඩය විහිලුවකට ගණන් ගන්න නම ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉතිහාසයේ දැවැන්තම හර්තාල් ව්‍යාපාර මීළඟ මැයි 6 පවත්වනවා. අපි අහලා තියෙන 1953 හර්තාලය ඉක්මවා යන ඒ හර්තාලයට මුහුණ දීලා බධා අල්ලන් ඉන්න කසි කබල් සිංහාසන වලින් බිමට ඇදලා දාන හැටි අත්විඳිනවද නැත්නම් දැන්වත් බැහැලා යනවද කියන එක තීරණය කරන්න පාලකයන්ට තව සතියක්ම තියෙනවා. අපිට කියන්න තියෙන්නේ, ‘මහත්වරුනි තීරණය ඔබ අතේ’ කියන එක විතරයි” යනුවෙන් ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ අවධාරණය කරනවා.

POPULAR

Recent articles