”සුනාමියක් එකවර එන්නේ නෑ” – සමන්ත විද්‍යාරත්න

අරගලය අවසන් වී ඇතැයි ඇතැමුන් සිතුවද දැන් සිදුව ඇත්තේ සුනාමිය ඉදිරියට ඇවිත් පස්සට යාම වැනි තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා. සුනාමිය එකවර පැමිණෙන්නේ නැති බවත් පළමු රැල්ලට ආපස්සට ගොස් දෙවන රැල්ල ආරම්භ වනු ඇති බවත් ඉන් පාලකයන් සෝදාගෙන යන තැනට අතර අරගලය උත්සන්න කරන බවත් ඔහු කියනවා.

“සකල විධ විනාශයන් වෙත 74 වසරක් මේ රට ගෙන ගිය පාලකයන් අපිට ඉතුරු කරලා තියෙන්නේ මොනවද. විනාශය, විනාශය, විනාශය විතරයි නේද. අපේ දරුවන්ට හෙටක් නැහැ. රටට අනාගතයක් නැහැ. මේ රට මේ පාලකයන් විසින් ගෙනල්ලා තියෙන්නේ ප්‍රශ්නයක් ඉස්සරහට නෙමෙයි අර්බුදයක් ඉස්සරහට.

පාලකයෝ හදපු අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට. ඒ අභියෝගය ජයගන්න මේ පාලකයෝ එකට, එක මිටකට එකතු කරලා සදාකාලිකවම පරාජය කරන්න ඕනේ. මහා ජන සන්නිපාතයක විරෝධය සුනාමියක් වගේ රැළි නංවලා මේ පාලකයන්ව සෝදා හැරීම හැර වෙනත් විකල්පයක් ජනතාව ඉදිරියේ ඉතිරි වෙලා නැහැ. මීළඟ මහජන විරෝධය එන්නේ එවැනි දැවැන්ත සුනාමියක් විදිහට” යි සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

POPULAR

Recent articles