“විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නෙවෙයි” – බැසිල් රාජපක්ෂ

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු වාසුදේව ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බවයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කියන්නේ.

බැසිල් අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේයි. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා තිබෙනවා.

“දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමඟ සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ” යි මුදල් ඇමැතිවරයා අවධාරණය කර සිටි බව වාර්තා වෙනවා.

“අපිට බණින අය, අපිව විවේචනය කරන අය අපේ සතුරන් නෙමෙයි” යනුවෙන්ද මුදල් අමාත්‍යවරයා සිය පසුපෙළ මන්ත්‍රීවරුන්ට පවසා තිබෙනවා.
ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් බැසිල් ඇමැතිවරයා පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර තියෙනවා.

POPULAR

Recent articles