“අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන්න” – තරුණ ජනමාධ්‍යවේදීන්

ඊයේ (31) ඇතිවූ සිදුවීම වලදී අත්අඩංගුවට ගත් පිරිසගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් පවසන්නේ එම සිදුවීමේදී එම ස්ථානයේ අත්අඩංගුවට ගත් පිරිසට ද පොලිසිය පහරදුන් බවයි. පහර කෑ පිරිස අතර මාධ්‍යවේදීන් ද ඉන්නා බවයි තරුණ ජනමාධ්‍යවේදීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ.

“සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

සභාපතිතුමියනි,
විරෝධතාකරුවන්ට පහරදීම සහ අත්අඩංගුවට පත්වූවන්ට පහරදීම
මිරිහාන, පැඟිරිවත්ත මංසන්ධියේ පැවැති විරෝධතාවයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව පහර දී ඇති බවට එම ස්ථානයට ගිය පිරිස් විසින් අප වෙත දැනුම් දෙනු ලැබීය. පහර කෑ පිරිස අතර මාධ්‍යවේදීහු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ද වෙති.
එමෙන්ම එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පිරිසට ද පොලිසිය පහර දී තිබේ. ඊට අදාල සාක්කි මේ වන විටත් ඔබ කොමිසමේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.
එසේ හෙයින්, අත්අඩංගුවට පත්වූවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙසත්, විරෝධතාවට සහභාගීවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය”
පිටපත්
චන්දන වික්‍රමරත්න මහතා – පොලිස්පති

POPULAR

Recent articles