ජාතික ආර්ථික සභාවට උපදෙස් දීමට ව්‍යාපාරිකයන් දෙදෙනකු පත් කරයි

ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති බව කියන උපදේශක කමිටුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පත් කරනු ලැබ තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත් කළ සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කළ බව පසුගිය 15 දින කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ ඒ පිරිසගෙ නම් 14 අමාත්‍යවරයා විසින් එහිදී ප්‍රකාශ කළ අතර ඒවා රාජ්‍ය මාධ්‍යන්හී වෙබ් අඩවි වලත් පළවී තිබුණා.

යලිත් එදිනම රාත්‍රීයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබුණේ “ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ” යනුවෙන්.

අමාත්‍ය රමේෂ් පතිරණ කියූ 14දෙනාට අමතරව තවත් නම් දෙකක් රාත්‍රීයේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පැවසූ ආකාරයට අශෝක් පතිරගේ මහතා අදාළ උපදේශක කමිටුවේ 15වෙනියා වන අතර මොහාන් පණ්ඩිතගේ මහතා එහි 16වෙනියා යි.

දැන් යලිත් මෙම උපදේශක කමිටුවට හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපති අශෝක පතිරගේ යන මහත්වරු ද ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. ඒ අනුව දැන් මෙම උපදේශක කමිටුව 18 දෙනෙකුගෙන් සමන්විතයි.

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඇමතිවරුන්ගෙන් යුත් ආර්ථික සභාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ඇතුළත් වෙනවා.

POPULAR

Recent articles