රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්වයක්

පොත්පත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කෙරුණු කඩදාසි (white printing paper) ඇතුළු අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ ඩොලර් හිඟය නිසා ප්‍රමාදවී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් රාජ්‍ය ආයතනවල ඉදිරි මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්වයක් උද්ගතව ඇති බවයි කියන්නේ.

ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණයද මේ නිසා ගැටලුකාරී විය හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග මීට පෙරද පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පැවසූවේ තම ආයතනය ඇණවුම් කළ භාණ්ඩ මුලදී නියම කෙරුණු මිල ගණන්වලට සැපයීමට සැපයුම්කරුවන් සුදානම් නැති බවයි. එම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය මතු වී ඇති බව ඇය කියනවා. ඩොලරයේ මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව එම ඇණවුම් කළ භාණ්ඩවලට ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලීම් කර ඇතැයි ඇය සඳහන් කළා.

පොත් සහ ලිපි ද්‍රව්‍ය මුද්‍රණයට යොදා ගැනීම සඳහා ඇණවුම් කෙරුණු තීන්ත සහ ප්ලේට් සැපයීමද මේ තත්වය යටතේ ප්‍රමාදවී ඇතැයි පවසනවා. දැනට පවතින කඩදාසි සංචිතවලින් තවමත් මුද්‍රණ කටයුතු කරගෙන යන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කරන්නේ.

සමහර රජයේ ආයතනවල ලිපිද්‍රව්‍ය යම් යම් ප්‍රමාණවල සංචිත පවතින හෙයින් ඒ සංචිත මේ අවස්ථාවේදී පාවිච්චි කරන ලෙසත් අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය පමණක් ඇණවුම් කරන ලෙසත් රජයේ ආයතනවලට දැනුම්දී ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තමා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනී පවසන්නේ.

POPULAR

Recent articles