නොරොච්චෝලේ බලාගාරය අවිනිශ්චිත තත්ත්වයක

අඛණ්ඩව බලපාමින් තිබෙන ඩොලර් අර්බුදය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම පවත්වා ගැනීමට ණයවර ලිපි විවෘත කිරීම අපහසු වී තිබෙන බව වාර්තා වෙනවා.

සැලසුම් කර ඇති ගල් අඟුරු නැව්ගත කිරීම් සඳහා ණයවර ලිපි අටක් විවෘත කිරීමට අවශ්‍ය වෙන බවයි කියන්නේ.

බලාගාරය සන්තකයේ දැනට පවතින ගල් අඟුරු තොග මේ වසරේ අගෝස්තු මාසය දක්වා පමණක් ප්‍රමාණවත් වෙන බවයි වාර්තා වෙන්නේ.

මුහුද රළු වීම හේතුවෙන් අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වන අතර එම නිසා දෙසැම්බර් මාසය දක්වා විදුලිය නිපදවීමට ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබන මාසය වන විට ආනයනය කළ යුතුව තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් පෙරේරා පවසන පරිදි මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් මිලියන 2.28න් මෙට්‍රික් ටොන් මිලියන 1.7ක තොගයක් ගෙන්වා ගැනීමට සමාගම සමත් වී තිබෙනවා. ඒ අතර විදුලි ජනනය සඳහා තවත් නැව්ගත කිරීම් 38ක් අපේක්ෂා කරන බව ඔහු කියා තිබෙනවා.

“ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස දෙකකට පෙර අවසන් කළා. දැනටමත් ටෙන්ඩර් ලබා දීලා තියෙනවා. මේ වසරේ අගෝස්තු මාසය දක්වා අපි ගල් අඟුරු තොග සුරක්ෂිත කරගෙන තිබෙනවා” යි සභාපතිවරයා කියනවා.

ගල් අඟුරු නැව්ගත කිරීමට නියමිතව ඇතිදැයි බව විමසූ විට ඔහු කියා ඇත්තේ ඒ සදහා ණයවර ලිපි විවෘත කිරීම අභියෝගයක් බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව දැනට මෙරට විදුලි උත්පාදනයේදී දෛනික බලශක්ති කොටසෙන් 47.1% ක් රඳා පවතින්නේ ගල් අඟුරු මතයි.

POPULAR

Recent articles