ඉන්දියාවේ ණය පහසුකමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය විසඳාගත හැකිද?

ශ්‍රී ලංකාව දරුණුතම විදේශ විනිමය අර්බුදයට මුහුණ පා සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා දුන්නේය. මුල්‍ය අර්බුදය මැද ඉන්දියාවෙන් ලබා දෙන ලද මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන නමුත්, මින් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදය ජයගත හැකිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

මේ සඳහා වූ ගිවිසුමකට ඉන්දීය රාජ්‍ය බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර මාර්තු 17 බ්‍රහස්පතින්දා අත්සන් තැබුණේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නවදිල්ලි සංචාරයක අතරතුරය.

2022 දී, මේ වන විට ඉන්දියාව ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක්, ඩොලර් බිලියන 0.5 ක ණයක් කල් දැමීමක් සහ තවත් බිලියන භාගයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනය පවත්වා ගැනීම ඇතුලුව ඩොලර් බිලියන 1.4 ක සහයෝගයක් ලබා දී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග
ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග

“අසල්වැසියා පළමුව. ඉන්දියාව සිටින්නේ ශ්‍රී ලංකාව සමඟයි. ඩොලර් බිලියන 01ක ණය පහසුකම ලබා දෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ණය දීම ගැන ඉන්දීය අගමැතිට ස්තුතිය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගයන් පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය දා ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ආධාර පිළිබඳව ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා දිගින් දිගටම පවතින ඩොලර් හිඟය මධ්‍යයේ ත් ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය ගෙවීමට නියමිතව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මහ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරිමින් රටේ මේ වන විට ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන්ට යම් සහනයක් සලසමින් සිටියි.

“යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දක්වා යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අද දින මුලතිව් හි ධීවරයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වියලි ආහාර සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී,” යනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

ඉන්දියාවෙන් කොන්දේසි නැහැ

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ලබා ගැනීමේදී කිසිදු කොන්දේසියක් පනවා නැතැයි, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරයි. ඉන්දීය නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“මුකුත් කොන්දේසියක් නැහැ. අපිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න තමා දුන්නේ. සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ගන්නකොට තියෙන පොලී මුදල ගෙවීම සහ වාරික ගෙවීම තමා, අවුරුදු 03කට පස්සේ තමා ඒක ගෙවන්නේ.”

අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටියේ, “අසල්වැසි ඉන්දියාව කවදත් ශ්‍රී ලංකාවට හිතවත්කමක් දැක්වුවා”.

නමුත් මෙරව ඊට වඩා මෝදි අගමැතිවරයා ආර්ථික, සමාජීය මෙන්ම ලෝක සංවිධානවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම සහයෝගයක්ම සෘජුව ලබා දී ශ්‍රී ලංකාවට උදව් කරන බව සඳහන් කළ බවද බැසිල් රාජපක්ෂ අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ මෙරටට අවශ්‍ය නැනෝ පොහොර ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීමට ද ඉන්දියාව එකඟ වූ බවයි.

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර
ඡායාරූප ශීර්ෂ වැකිය,මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර

“බෙහෙත්, ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් දුන්නා. විනිවිද භාවයකින් යුතුව වෙළෙඳ අමාත්‍යංශය විසින් මෙතෙක් කල් ආනයනය කරපු අයට ප්‍රමුඛත්වය දෙමින් සියලු අයට භාණ්ඩ ගෙන්වා කඩිනමින් මහජනතාවට ලබා දෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.” මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් විමසා සිටියේ චීනයෙන් ලබාගෙන ඇති ණය ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳවයි. “ඒවා ඔක්කොම වෙලාවට ගෙවනවා. හුඟක් ඒවා ඉස්සරහාට කල්පනා කරන්න යන්න එපා. ජනාධිපතිතුමා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යටතේ තමා කටයුතු කරන්නේ.”

පවතින ඉන්ධන පෝලීම් පිළිබඳවද මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ “යම් යම් අවස්ථාවලදී නිසි වේලාවට, නිසි කලට ඇනවුම් කිරීමේ ප්‍රමාදයකුත් තිබිලා තියනෙවා. වර්තමානයේ අලුත් ඇමතිවරු, අමාත්‍යතුමියත්, අදාළ අයත්, උනන්දුවෙන් ඇනවුම් කිරීමේ කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊට අවශ්‍ය සහයෝගය දෙනවා.”

මාධ්‍යවේදියෙකු මෙහිදි මුදල් අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කර සිටියේ නිලධාරීන් කරන වැරදි හේතුවෙන් අමාත්‍යවරයා සහ රජය අපසුතාවට පත්ව ඇතිද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ “එහෙම තමයි, ගෙදරක ළමයෙක් දඟ කලත් දෙමව්පියෝ වගකියන්න ඕනේ.”

මේ අතර ඉන්දියාවෙන් ණය ලබා ගැනීම සඳහා කොන්දේසි නොමැති බව රජය ප්‍රකාශ කළත් කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් පෙර රජය ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් 03කට එළඹ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා සිටියේය.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ රජය වහාම එම ආරක්ෂක ගිවිසුම් 03 පිලිබඳ ජනතාට හා පාර්ලිමේන්තුවට හෙලිදරව් කළ යුතු බවයි.

මේ අතරේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බූදය හමුවේ ශ්‍රී ලංකාව ඉන්දියාව මත විශාල ලෙස යැපෙමින් පවතින අතර ශ්‍රී ලංකවේ ආයෝජන විශාල ප්‍රමාණයකට මේ වන විට ඉන්දියාව මැදිහත් වී ඇත.

ඒ අනුව නවතම ආයෝජන ගිවිසුම ලෙස ත්‍රිකුණාමලය පවර් කම්පැනි ලිමිටඩ් (TPCL) නමින් ඒකාබද්ධ සමාගමක් යටතේ සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යෘපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීය.

විශාල භූමි ප්‍රමාණයකින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ද දෙපාර්ශවය මීට පෙර ගිවිසුමකට එළඹෙන ලදී.

ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවේ උත්සාහය ත්‍රිකුණාමලය වරාය ඇතුලු නැගෙනහිර ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමට ද?

මොකද්ද මේ ට්‍රින්කොමලී පවර් කම්පැනි ලිමිටඩ් කියන්නේ?

ඉන්දියාවේ NTPC සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ට්‍රින්කොමලී පවර් කම්පැනි ලිමිටඩ් යන සමාගම යටතේ ය.

ඊට අදාල ඒකාබද්ධ ගිවිසුමට හා කොටස් හිමිකාරීත්ව ගිවිසුමට මාර්තු 11 වැනිදා කොළඹ දී අත්සන් තැබිණි.

සාම්පූර් සූර්ය බලාගාරය මඟින් මොගාවොට් 100ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිවේදනය කළේ ය.

NTPCහි ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී නරින්දර් මෝහන් ගුප්තා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු, ලංකා විදුලි බල මණ්ඩගයේ උප සභාපති සහ TPCL සභාපති එන්. එස්. ඉලංගකෝන් මෙම ත්‍රෛපාර්ශ්වික ලේඛනයට අත්සන්කර ඇත.

ඒ අවස්ථාවට ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද සහභාගී වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

“සාම්පූර්හි සූර්ය බලාගරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට මහ කොමසාරිස්තුමා සහභාගී විය. බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා අමාත්‍යවරුන් සිව්දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර එය පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය ඇතුළු දෑ හරහා අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියකි,” යනුවෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසීය.

මෙම සමාගමේ හිමිකාරීත්වය බෙදී යන්නේ කෙසේ ද, කොපමණ ආයෝජනයක් ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත්කර නොමැත.

මීට දශකයකට පමණ පෙර සාම්පූර් ආශ්‍රිතව NTPC ලිමිටඩ් හා එක්ව ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ද ඉන්දියාව සූදානම් වූයේ ය එහෙත් ඒ පසුගිය රජය ගල් අගුරු බලාගාර ඉදිනොකරන බවට ගත ප්‍රතිපත්ති තීරණයෙන් පසුවයි.

පුණර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය

පුනර්ජනනීය බලශක්තියේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙපාර්ශවයේම පෞද්ගලික අංශය අතර සැලකිය යුතු උනන්දුවක් පවතින අතර, එය ඉදිරි වසරවල දී වැඩිවීමට ඉඩ ඇතැ යි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැ යි ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ ය. එය කොළඹ උපාය මාර්ගික වරාය පර්යන්ත ව්‍යාපෘතියක් අත්පත්කර ගෙන මාස හයකට පමණ පසු යි.

ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ මන්නාරමේ සහ යාපනය අර්ධද්වීපයට දකුණින් පිහිටි පුනරීන් ප්‍රදේශයේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් හෝ අදානි සමූහ ව්‍යාපාරයෙන් හෝ මෙම ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ එකඟතාව පිළිබඳ තවමත් නිල නිවේදනයක් හෝ ප්‍රකාශයක් කර නොමැත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුම

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමකට ද 2021 දෙසැම්බර් 06 දා මුදල් අමාත්‍යංශයේ දී අත්සන් තබනු ලැබුණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.

නව ගිවිසුම්වලින් මොකද වෙන්නේ?

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකිවලින් බහුතරයක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත්වන ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය කෙරෙනු ඇතැ යි බලශක්ති අමාත්‍ය කාර්යාලය පවසා සිටියේ ය.

එහෙත් නව ගිවිසුම හරහා නව සමාගමක් පිහිටුවා මෙම තෙල් ටැංකි 99න් 61ක් එම නව සමාගමට පවරන අතර, ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පැවරෙනු ඇත. ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14කි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ සමාගමක් යටතට

නව ගිවිසුම් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධ 2003 බදු ගිවිසුම අහෝසි වී, තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන තුනක් අතර බෙදී යනු ඇත.

බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ මෙය ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව යි.

ගිවිසුම් අනුව ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන බව ද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

Google
ඡායාරූප ශීර්ෂ වැකිය,ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය

මොකද්ද මේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම?

අලුතින් පිහිටුවන ලද ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම ලංකා ඛණිජ තෙල් සංස්ථාවට 51%ක් සහ ලංකා ඉන්දීයානු තෙල් සමාගමට 49%ක ද කොටස් හිමි, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි.

එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත්කෙරුණු සිව්දෙනෙකුගෙන් සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පත් කෙරුණු තිදෙනෙකුගෙන් සමන්විත වනු ඇත.

නව සමාගමේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මුදල් ඇමති බැසිල් ඉන්දියාවට

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින අතර, විවිධ මූලාශ්‍රවලින් ආධාර ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.

ඉන්දියාව දැනට මේ වසර තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.4ක ණය පහසුකම් දීර්ඝකර ඇති අතර, තවත් ඩොලර් බිලියන 1ක ආධාරයක් තහවුරු කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා මාර්තු 15 වැනිදා නවදිල්ලි නුවර බලා පිටත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා සිටියේ ය: ” ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1000ක් ඉල්ලලා තියෙනවා. දෙපාරක් ලෑස්ති වුණා ඒක ගැන සාකච්ඡා කරන්න. මොකද කරේ, එන්න එපා කිව්වා. ඒගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනි වැඩ ටිකක් දුන්නා. දැන් එකින් එක ඉටු කරනවා.”

“ගිවිසුමක් අත්සන් කරා සාම්පූර්වල සෝලා පවර් බලාගාරයක් සඳහා. අක්කර දහස් ගණනක් ඉන්දියානු අදානි සාමාගමට දෙන්න ගිවිසුමක් අත්සන් කළා. දැන් මොකද කියන්නේ, ඩොලර් මිලියන 1000 දෙන්නම් මේවා අපිට දීලා හිටපන්. මීට කලින් ඩොලර් මිලියන 500 ගන්න කලින් ඉන්දියාවට තෙල් ටැංකි සංකීර්ණය අත්සන් කරලා දුන්නා.”

“ලංකාවේ අර්බුදය ඉන්දියාව වාසියට යොදාගෙන”

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත් කන්දඋඩහේවා ප්‍රකාශ කළේ සාම්පූර් බලාගාරය ගල් අඟුරු බලාගාරයක් ලෙස ඉදිකිරීමට මීට පෙර යෝජනා වී තිබූ බව යි. ඊට විශාල ජනතා විරෝධයක් ද පැවතිණි.

ගල් අඟුරු ගෙන ඒමේ ගැටලුව නිසා මෙය සාර්ථක ව්‍යාපෘතියක් නොවීය. ගල් අඟුරු ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට එවක රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ආචාර්යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මූලෝපායික වශයෙන් වැදගත් දේ බෙදාගැනීමට චීනය, ඉන්දියාව, සහ ඇමෙරිකාව කැමැත්තක් දක්වන බව යි.

“මෙය සූර්ය බල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න හදන්නේ ත්‍රිකුණාමලය වගේ මූලෝපායික ප්‍රදේශයන්ගේ බලය ස්ථාපිතකර ගන්න. දැනටමත් ඉන්දියාවට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටිකත් හම්බවෙලා තියෙනවා. ඉදිරියේ දී ඔවුන් වරාය සම්බන්ධයෙනුත් ගිවිසුමකට එයි. ඔවුන් උත්සහ කරනවා ලංකාවේ නැගෙනහිර, ඉන්දියාවට භූ ගෝලීයව සමීපස්තව සහ ලෝකයේ භූ ගෝලීයව වැදගත්වන කලාපයක තම පෙනී සිටීම ස්ථාවර කර ගන්න.”

“දැන් චීනය අපෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉවර යි. ඉන්දියාව දැන් උත්සහ කරන්නේ ලංකාවේ මතුවී තිබෙන අර්බුදය තමන්ගේ වාසියට යොදාගන්න කටයුතු කරන්න,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

“ඒ ගෝල්ලෝ දන්නවා අපි මේ වෙලාවේ හිරවෙලා තියෙන්නේ, අපිට කරන්න වෙන විකල්පයක් නැහැ කියලා.”

“මට පෙන්නේ මේ වෙලාවේ චීනය, ඉන්දියාව, අමෙරිකාව කියන මේ පාර්ශව තුන ලංකාවේ බල තරගයකට යනවා. දැන් යුගදනවි හරහා අමෙරිකාව ශ්‍රී ලංකාවේ බලශක්ති කේෂත්‍රයට එනවා. අමෙරිකාවට ඇත්තටම අවශ්‍යතාවක් නැහැ ලංකාවේ බලශක්තිය ගැන. අමෙරිකාවට අවශ්‍ය පෝට් සිටි එක නිසා කොළඹ කිට්ටුව තම පෙනී සිටිම පවත්ව ගන්න,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.

अडानी का विरोध
ඡායාරූප ශීර්ෂ වැකිය,අදානිගේ පතල් සමාගමට ඕස්ට්‍රේලියාවෙන් විරෝධය

ඉන්දියාව හමුවේ චීනය පසුබෑමක ද?

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසුවේ චීනය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට ගිය බලශක්ති ව්‍යාපෘතිය හෙළි නොකළ බලපෑමක් හේතුවෙන් නවතා දැමීම ශ්‍රී ලංකාවේ කිර්ති නාමයට මෙන්ම ආයෝජකයන්ට ලබා දෙන වැරදි පණිවුඩයක් බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ මේ වන විට ඩොලර් බිලියන 1.5ක මුදල හුවමාරුවද ඇතුලත් ව ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් ලබාදී ඇති බවත් මේ වන විට ඇමරිකානු ඩොලර් බිලිලන 1ක ණය මුදලක් හා තවත් ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරුවක් ලබාදීමට දෙරට අතර සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

ආචාර්ය කන්දඋඩහේවා ප්‍රකාශ කරන්නේ චීනය දැනටත් මූලෝපායික වශයෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී අවසන් බව යි.

“චීනය පැවැත්ම සුරක්ෂිත කර ගෙන ඉවර යි. චීනය බලන්නේ ලංකාව කොහොමද හැසිරෙන්නෙ කියලා. චීනය දන්නවා ලංකාවේ ලයිෆ් ලයින් එක තියෙන්නේ ඔවුන්ගේ අතේ කියලා. චීනයට දැනටමත් බාගේන් පවර් එක තියෙනවා. ඉන්දියාවට හැමවිටම අපිට උදව් කරන්න හැකියාවක් නැහැ. ඔය ලිමිට් එක හිරවුණාම අපිට යන්න තැනක් නැහැ. අපිට චීනය දෙසට යන්න වෙනවා.”

“ඉන්දියාව සහ ඇමෙරිකාව දෝලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ තමා ආණ්ඩුව කරවන්නේ. අපි කියනවා අදිසි බලවේගය කියලා. බැසිල් රාජපක්ෂගේ පොලිසි එක තමා මෙතන යන්නේ,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ, “මේක බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අමෙරිකාවේ තියෙන ඉඩමක් නොවෙයි බැසිල්ට ඕන විදිහට පවරලා දෙන්න. මේක රටේ ජනතාවගේ දේපල,” යනුවෙනි.

මේ ආකාරයෙන් අත්තනෝමතික ගිවිසුමක්වලට තමන් විරුද්ධ බව ද ඔහු අවධාරණය කළේ ය.

“රටේ අර්බුද හදලා, ඉන්ධන හිඟයක් හදලා, ඩොලර් හිඟය හදලා, රටේ සම්පත් විකුණනවා හැරෙන්න වෙන උත්තරයක් නැහැ කියන තැනට මහජනතාවගේ ඔළුව හදන්න හදන්නේ,” සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ ය.

“ලංකාව වලකට වැටුනට පස්සේ ලංකාව යටත් කරන්න දෙන්න කිසිම අයිතියක් නැහැ,” ඔහු අවධාරණය කළේ ය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසා සිටියේ, “ඉන්දියාව ඩොලර් ණය නිකන් දෙන්නේ නැහැ. කොන්දේසිත් එක්ක දෙන්නේ. අද අපිට වැඩි මිලකට ඉන්දියාවෙන් තෙල් ටික, බෙහෙත් ටික, ආහාර ටික වැඩි මිලට ගන්න වෙලා තියෙනවා.”

“අද ඉන්දියාවේ රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් පාලනය වන රටක් බවට පත් වෙලා තියෙනවා,” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 5000ක් උත්පාදනයට ජනපතිගෙන් උපදෙස්

ඉදිරි වසර සය ඇතුළත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000ක් උත්පාදනය කර, එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දුන් බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ය.

මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500ක් ආයෝජනය කළ බවත්, ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලබාදුන් බවත්, ඉදිරියේ දී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සඳහා අදානි සමාගම තවත් ආයෝජනය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

නව නිවාස සෑදීම, අලුතින් කර්මාන්තශාල ඇති කිරීම වැනි දෑ නිසා වාර්ෂිකව අලුතින් 5% – 8% ප්‍රමාණයකින් මෙරට විදුලි බල ඉල්ලුම වැඩිවේ.

මෙම අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලිය ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම, ඉහළ ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘති හඳුනාගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරනු ලබන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කාර්යයන් කෙරෙහි මේ වන විට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවදානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

BBC වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.

POPULAR

Recent articles