“භාණ්ඩ එකක හෝ දෙකක හිඟයක් තිබූ පමණින් මෙරට ආහාර හිඟයක් නෑ” – අජිත් නිවාඩ් කබ්රාල්

භාණ්ඩ එකක හෝ දෙකක හිඟයක් තිබූ පමණින් මෙරට තුළ ආහාර හිඟයක් ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. සී.එන්.බී.සී. නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ අත්‍යාවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය ශ්‍රි ලංකාව සතුව පවතින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සී.එන්.බී.සී. නාලිකාව සිදු කළ පුවත් විශේෂාංගයකට එක්වෙමින් මහබැංකු අධිපති වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙරට විදෙස් සංචිත තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකවලින් ශ්‍රී ලංකාව පහත හෙළීම සහ බැඳුම්කරවලට මුදල් ගෙවීම ආදී කරුණු සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී අදහස් පළ කළා.

සී.එන්.බී.සී. නාලිකාව එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙරට මහබැංකු දත්තවලට අනුව සහල්, එළවළු සහ අමුමිරිස් ආදියෙහි මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ආහාර උද්ධමනය 21.5% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ආහාරමය නොවන උද්ධමනය ද 7.6% දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

භාණ්ඩ එකක් හෝ දෙකක් ඉස්මතු කර දක්වා ඇති බවත් ඉන් කියවෙන්නේ මෙරට තුළ භාණ්ඩ හිඟයක් ඇති බව නොවන බවත් ප්‍රකාශ කරන මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියලු ආහාර ද්‍රව්‍ය අප සතුව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදෙයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බවයි.

POPULAR

Recent articles