Home Blog Page 3

අර්ජුන් ඇලෝසියස්ට ඇප

0

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඊයේ (03) දින ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මතයි. මුදා හැරීමට නියෝග කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ විසින්.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට අර්ජුන් ඇලේසියස් මහතාට සිතාසියක් නිකුත්කර තිබුණා.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් රුපියල් 5,328,428,555/= බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

සජිත් ප්රෙමදාගේ බිරිඳ විරෝධතාවයක

0

විපක්ෂ නායක සජිත් ප්රෙමදාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි Jaal Salon රුපලාවන්‍ය සහ සත්කාර මධ්‍යස්ථානය පිහිටි දේපළ එහි නියම හිමිකරුවන් වෙත නැවත ලබාදෙන ලෙස බලකරමින් එය ඉදිරිපිට දී විරෝධතාවක් පවත්වා තිබෙනවා.

22ට අනුරගෙන් සංශෝධනයක්

0

පක්ෂ මාරුව තහනම් වන, ඇමතිවරු ගණන සීමා වන, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාජබ මන්ත්‍රී අනුර දිසානායක කියන්නේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වීම සම්බන්ධව අදහස් දක්වමිනුයි ඔහු මේ අදහස පළකළේ.

“අපේ රටට 1978දී ගෙන එන ලද ව්‍යවස්ථාව රටට යෝග්‍ය නොවන බව අපි සියලු දෙනා දන්නවා. විවිධ අවස්ථාවල, විවිධ අරමුණු පෙරදැරිව මේ ව්‍යවස්ථාවට විවිධ සංශෝධනයන් සිදුවී තිබෙනවා. අප උත්සාහ කරන්නේ මෙම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගැනීමට යි. 1978 ව්‍යවස්ථාව අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ නැහැ. මේ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, මේ ආ.ක්‍ර.ව්‍ය. වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ සම්මත කර ගත යුතුව තිබෙන බවට වන ස්ථාවරයක සිටිනවා. මේ විනාශකාරී විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. මෙම විධායක ජනාධිපති ධුරය අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන මුළුමනින්ම විනාශයට පත් කරන, තනි පුද්ගයෙක් අතට සියලු බලය කේන්ද්‍ර ගත වන තනතුරක්. එය අහෝසි වන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් තහවුරු වන, වංචා දූෂණ නාස්තියට තිත තබන රෙගුලාසි පැනවෙන නව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.

අපි පක්ෂයක් ලෙස දීර්ඝ කාලයක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් බලයට පත්වූ ආණ්ඩු මැතිවරණවලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළා. චන්ද්‍රිකා මහත්මිය, 2015දී රනිල්-මෛත්‍රී ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ 20වැනි සශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ විමට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට රටට පොරොන්දුවක් දුන්නා. ද්විත්ව පුරවැසිභාවය වැනි සශෝධන 20වැනි සශෝධනයට ඇතුළත් කරන්නේ ඒවා ඉවත් කිරීම සඳහා සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව කියමිනුයි. ඒ වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයක් ආරම්භ කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඔවුන් විසින් සකස් කර තිබුණා.

මේ කිසිවක් ඉලක්ක සහගත ඵලදායී ව්‍යාපෘති බවට පත් වූයේ නැහැ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතාවගේ වුවමනාව මේ පාලකයන් විසින් ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. දැන් නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නව සශෝධනයක් ගෙනැවිත් තිබෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා පළමු සහ එකම ප්‍රජාතන්ත්‍රවාදී සශෝධනය 17වැනි ආ.ක්‍ර.ව්‍ය. සශෝධනයයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරිවාස පාලනයකට ලක්කිරීමෙන් පසුව මේ රටේ ජනතාවට දිනා දුන් ජයග්‍රහණයක්. එදා පාර්ලිමේන්තු නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා 17 සම්මත කර ගැනීමට සහය දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ 2010දී තමන්ට 2/3 ලබා ගත්තාට පසුව එම 17 අහෝසි කර එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යටපත් කරමින් නැවත 18 වැනි සශෝධනය ගෙනාවා. නැවත 2015 මැතිවරණයෙන් පසුව 18වැනි සශෝධනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන 19වැනි සශෝධනය ගෙනාවා. නැවත 19 අහෝසි කර 20වැනි සශෝධනය ගෙනාවා. එහෙත් මේ පාර්ලිමේන්තුවේ මේ සංශෝධන 04ටම අත එසවූ අය ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ඒවා අහෝසි කිරීමටත් ඔවුන් අත් ඔසවා තිබෙනවා. ගමේ මරණාධාර සමිතියකවත් මෙවැනි සාමාජිකයින් නැහැ. පස්වැනි වතාවටත් මේ පිරිස එළඹෙන සිකුරාදා 22වැනි සංශෝධනයට අත එසවීමට බලාගෙන සිටිනවා. මේ පාර්ලිමේන්තුව අරුම පුදුම පාර්ලිමේන්තුවක්.

මේ 22වැනි සශෝධනයත් වඩාත් ප්‍රජාතාන්ත්‍රික කර ගැනීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. ඔබට මතක ඇති, 19වැනි සංශෝධනය සකස් කරන මොහොතේදී අපි යෝජනාවක් ඉදිරිපත් කළා. අද අපේ රටේ දේශපාලනයේ විනාශයකට එක හේතුවක් වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුකිරීමයි. ඇමතිකම්වලට, වරදානවලට, මුදල්වලට, ඉඩම්වලට, ගෙවල්වලට නඩු ඉවත් කර ගන්න එහෙම මෙහෙට පනින සංස්කෘතියක් තිබෙනවා. ජනතාව ඡන්දය ප්‍රකාශ කළ පසුව පාර්ලිමේන්තුව එහෙට මෙහෙට පැන ජනතාවගේ මතය විකෘති කරනවා. තමන්ට ලබා දුන් ජන වරමට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියන සංශෝධනයක් අපි 19වැනි සංශෝධනයට ඉදිරිපත් කළා. 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී එහි මුල් පිටපතේ එය ඇතුළත්ව තිබුණා. එහෙත් කාරකසභා අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන එයට එරෙහි වූවා. විජේදාස රාජපක්ෂ එයට එකඟ වුණා. පැත්ත මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වූ යෝජනාව ඉවත් වුණා.

අද අමාත්‍ය ධුර පිරිනැමීමත් ප්‍රධාන ප්‍රශ්නයක්. රාජ්‍ය අමාත්‍යවරු 40ක්, නියෝජ්‍ය අමාත්‍යවරු 30ක්, හා තව පක්ෂයකින් එක හෝ මන්ත්‍රීවරයෙක් එකතු වෙනවා නම් එය ජාතික ආණ්ඩුවක් ලෙස හුවා දක්වා පාර්ලිමේන්තු අනුමැතියෙන් තමන්ට රිසිසේ අමාත්‍ය ධුර සංඛ්‍යාවක් පත්කර ගත හැකියි. රනිල්-මෛත්‍රී ආණ්ඩුව ඇමතිවරු 30, රාජ්‍ය ඇමතිවරු 40 කියන සීමාවේ සිටියේ නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඇමතිවරු සංඛ්‍යාව වැඩිකර ගත්තා. එය හෙටත් සිදුවිය හැකියි. එය ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු නිශ්චිත සීමාවකින් සිටිය යුතුයි යන්නත් රාජ්‍ය අමාත්‍යවරු අහෝසි විය යුතුයි යන්නත් අපි යෝජනා කර සිටියා. ප්‍රබල ජනතා නැගිටීමක් නිසා රාජපක්ෂ ආණ්ඩුව දෙදරුම් කෑමට ලක්වුණා. ජනාධිපතිවරයාට ගෙදර යාමට සිදුවුණා. අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණා. ඇමති මණ්ඩලය කිහිප වරක්ම වෙනස් වුණා. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනතා විරෝධයක් තිබූ පැරණි කණ්ඩායම නැවත අමාත්‍ය ධුරවලට පත්කළා. තවත් අමාත්‍ය පත්කිරීම් සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ රටේ මහජනයාගේ ධනයත් එක්ක සූදු කෙළින්නට ජනාධිපතිවරයාට මේ ව්‍යවස්ථාව ඇතුලේ ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර තිබෙනවා.

මේ තත්වය තුළ 22වැනි සංශෝධනයට අමාත්‍යවරු සංඛ්‍යාව සීමා කර, නියෝජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව සීමා කරන යෝජනාවක් ඇතුළත් විය යුතුයි. අපේ යෝජනාවන් අනුව උපරිම අමාත්‍ය ධුර 25ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් විය යුතුයි. රාජ්‍ය අමාත්‍යවරු යනුවෙන් අටමගලක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම ධුර අවශ්‍ය නැහැ. මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් එහෙට මෙහෙට මන්ත්‍රීවරු පනින එක. දෙවැන්න සිතු සිතූ ආකාරයෙන් අමාත්‍ය ධුර පත්කිරීම. මේ අවස්ථාවන් දෙකට සීමා පැනවිය යුතුව තිබෙනවා” යි අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

”බණ්ඩාරනායක නිසා අපි මොට්ටයෝ වුණා” – චන්දිම වීරක්කොඩි

0

ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (03) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

නැවතත් ඒ තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදිය යුතු බව කී ඔහු දුප්පත් අහිංසක මිනිස්සුන්ට නැගී සිටින්න නම් ඔවුන්ට බල කර හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න දෙන්නැයි ද එහෙම වුනොත් රටට අනාගතයක් තිබෙන බවද කියා සිටියා.

“අපිට අභිමානයක් තිබෙනවා. සිංහල මිනිස්සු ලෙස සිංහල භාෂාව පිළිබඳව. ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාව පිළිබඳව අභිමානයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හිතන්න. මෙච්චර කල් රටට වු‍ණේ මොකක්ද? පළවෙනි කාරණය අපි මොට වුණා .අපේ පක්ෂයේ නායකයා වූ බණ්ඩාරණායක මහත්මයාගේ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා” යනුවෙන්ද චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් කියා සිටියා.

”පාදෙණිය තමයි වගකියන්න ඕනේ” – GMOA

0

මෑත කාලයේ දී සිදුවූ මෙරට කෘෂිකර්මාන්තයේ පරිහානියට වගකිව යුතු වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ.

ඒ හැර ඊට තම සංගමය වගකිවයුතු නැති බවයි ඔහුගේ අදහස වන්නේ.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තම සංගමයේ සභාපතිවරයාව සිටි කාලයේදී සංගමය තුළ ප්‍රශ්න රැසක් ඇති වූ බව වෛද්‍ය හරිත අලුත්ගේ කියනවා. පසුගිය කාලයේ තම සංගමය සිදු කළේ වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාළ නැති වැඩ බව පවසන GMOA ලේකම්වරයා ඒ හේතුවෙන් අද වනවිට මුළු රටකටම වන්දි ගෙවන්නට සිදුව ඇතැයි සඳහන් කරනවා.

වෛද්‍ය හරිත අලුත්ගේ යනු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය දරද්දී එම සංගමයේ සංස්කාරක ධුරය දැරූ අයයි.

වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්

0

ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක හට දී ඊයේ (02) උපහාර සම්මානයක් හිමි වී තිබෙනවා.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (02) පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අතර ඔහුට මෙම සම්මානය හිමි වී ඇත්තේ එහිදීයි.

යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස්ගේඅතිනුයි.

”අපේක්ෂිත ආදායමට යන්න බෑ” – මත්පැන් නිෂ්පාදකයින්

0

සුරාබදු ආදායම මේ වසරේදී රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය ඉල්ලීම් කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා ගත නොහැකිවනු ඇතැයි මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබෙනවා.

මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත බසිමින් තිබෙන හෙයින් මේ වසරේදී සුරාබදු ආදායම සැලකිය යුතු ලෙස පහත බසිමින් තිබෙන බවද පසුගියදා පැවති සාකච්ඡාවකදී මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පවසා තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මත්පැන් අලෙවිය පහත බැස ඇති හෙයින් රාජය අපේක්ෂා කරන ආදායාම ඉලක්කය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ වසර තුළ දෙවතාවක් වැට්බදු ඉහළයාම සමාජ ආරක්ෂණ බද්දක් නැතිවීම අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මත්පැන් මිල ඉහළ ගොස් ඇති අතර එම නිසා මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත යමින් තිබෙන බවද මත්පැන් නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බවද ඔවුන් පවසනවා.

මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම නිසා මත්පැන් නිෂ්පාදකයින්ට උපරිම ආදායම් ඉලක්ක සපුරා ගත හැකිවනු ඇතැයිද එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ට පෙන්වාදී තිබෙනවා.

අද (03) සුරාසැල් වැසේ

0

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනවා. ‌

මීට හේතුව වන්නේ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීමයි.

ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4 092 ක් වනවා.

කෝප් කමිටුව නම් කෙරේ

0

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

”රජය අපිටත් ණයයි” – ජාතික ඉදිකිරීම් සංගමය

0

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ වසරක පමණ කාලයක සිට එම මුදල් ලැබීම ප්‍රමාදවී ඇති බවයි.

මේ පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සම්බන්ධයෙන් සහන ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.