Home Blog

සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඉක්මනින්ම ඇතිවිය හැකි බවයි.

එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි අරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි කියන්නේ.

එම වෘත්තීන් සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින් 2022.11.05 දිනයට පෙර www.slbfe.lk යන කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති Identification of qualified professionals for construction sector in K.S.A යන වෙබ් ද්වාරය (web portal) ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත්කර කාර්යාංශයේ දත්ත බැංකුවේ ලියාපදිංචි විය යුතු බවයි කාර්යාංශය පවසන්නේ.

මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකි බව ඔවුන් කියනවා.

#slbfe #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා

0

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31) සඳුදා දිනයේ ආරම්භ කර තිබුණා.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර, ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ බත්තරමුල්ල පැලවත්ත, බුද්ධදාස මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය දක්වා 2km පමණ දුර ගෙවා පැමිණ මෙම කටයුත්ත ආරම්භ කළ බවයි කියන්නේ.

පරිසර හිතකාමී නගරයක් සහ සෞඛ්‍ය සම්පන්න නගරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව එහි සංවිධායකයන් පවසනවා. මාර්ග තදබදය අවම කිරීම, ප්‍රධාන මාර්ගයට අමතරව නගරයේ ඇති අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණක් බවයි පැවසෙන්නේ.

පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බව පැවසෙනවා.

පාපැදියෙන් සේවයට පැමිණෙන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට ආවරණ සහිතව වෙනම ම ස්ථානයක් අමාත්‍යංශ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙනවා. එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සලසා තිබෙන බව පැවසෙනවා. පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ද අවසරය හිමිවන බව කියනවා.

#prasannaranathunga#UDA#A5#a5news#a5newssrilanka#news#NewsUpdate#NewsAlert#SriLanka#hotnews#LatestNews#Alert#sinhalanews#srilankanews#Fastnews

මේ පාර අයවැය අභියෝගයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බවයි. නොවැම්බර් 14 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

2023 සඳහා රුපියල් බිලියන 7,885ක් ලෙස 2023 රජයේ සමස්ත වියදම ඇස්තමේන්තු ගතකර ඇති බව ඔහු පවසනවා. එය 2022 වසරේ ඇස්තමේන්තු ගත වියදමට සාපේක්ෂව රුපියල් බිලියන 1,785ක වැඩිවීමක් බවයි රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

දැනට ශ්‍රී ලංකාවේ පවතින -8%ක ආර්ථික වර්ධනය ඉදිරි වසරේ දී -3%ක පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අසීරුතම අභියෝගයට මුහුණදී සිටින බව කියා සිටිනවා. ඒ සඳහා සියලු ජනතාවගේ කැපවීම සහ අවබෝධය අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ.

#ranjithsiyabalapitiya#A5#a5news#a5newssrilanka#news#NewsUpdate#NewsAlert#SriLanka#hotnews#LatestNews#Alert#sinhalanews#srilankanews#Fastnews

මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ පත්කර තිබෙනවා. ඒ එහි හිටපු සභාපති එස්. අමරසිංහ වෙනුවටයි. නව සභාපතිවරයා පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත් බව එහි මාධ්‍ය අංශය පවසනවා.

සුපුන් එස්. පතිරගේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පාරිසරික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන්, පාරිසරික විද්‍යා සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත අයෙක් බවයි කියන්නේ. මේවනවිට ඔහු සබරගමුව විශ්වවිද්‍යලය සහ ජපානයේ කියෝෂ් විශ්වවිද්‍යාලය හා එක්ව පාරිසරික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා.

වැඩ භාරගැනීමෙන් අනතුරුව අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඇමතූ නව සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි පස් අවුරුදු කාලය සඳහාවන සංයුක්ත සැලැස්ම (Corporate Plane) අනුව කටයුතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා කෙටිකාලීන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. එලෙසම පරිසර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ආර්.ආර්. රූපසිංහ, මධ්‍යම පරිසර අධිකාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ නව සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන සහභාගී වූ බවයි පැවසෙන්නේ.

ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී

0

Dota 2 (Defence Of The Ancient) නමින් නම්කර තිබෙන පරිගණක ක්‍රීඩාවේ මෙවර ජාත්‍යන්තර ශූරතාවය ඔක්තෝම්බර් 15වන දින සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙය එහි 11 වන ජාත්‍යන්තර තරඟය යි. ආසියාවේ මෙම තරඟය පවත්වන්නේ දෙවෙනි වතාවට යි. ආරාධිත කණ්ඩායම් පෙර පරිදිම කලාපීය ලීග සහ මේජර් තරඟ වලින් එකතු කරගත් ලකුණු මත පදනම් වී ඇති බවයි කියන්නේ.

මෙවර එක් එක් කලාපයේ සුදුසුකම් ලැබීමේ තරඟ වලින් දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා අතිරේක සුදුසුකම් ස්ථාන දෙකක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම ස්ථාන දෙක සඳහා කණ්ඩායම් ජාත්‍යන්තර තරඟයට පෙර තරඟ කරන බව නිවේදනය කර තිබුණා. මේ අනුව මෙම වසරේ ජාත්‍යන්තරය තරඟය සඳහා Group Stage කණ්ඩායම් ප්‍රමාණය 18 සිට 20 දක්වා පුළුල් වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන ඉසව්ව වෙනස් ස්ථාන දෙකක දී පවත්වන පළමු ජාත්‍යන්තරය මෙය යි. මුල් අදියරයේ තරඟ SunTec Singapore ක්‍රීඩාංගනයේ පවත්වනවා. අවසන් අදියරයේ තරග Singapore Indoor Stadium හි පවත්වන බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.

Group Stage තරඟ ඔක්තෝම්බර් 15 සිට ඔක්තෝම්බර් 18 කාලය තුළ පැවැත්වීමට නියමිත යි. අනතුරුව ප්‍රධාන ඉසව්ව ඔක්තෝම්බර් 20 සිට ඔක්තෝම්බර් 23 දක්වා පවත්වා, විවේක දින කිහිපයකට පසු නැවතත් ඔක්තෝම්බර් 29 සිට ඔක්තෝම්බර් 30 දක්වා පැවත්වීමට තීරණය කර තියෙනවා.

මෙම වසරේ Prize Pool (ත්‍යාග සංචිතය) මේ වනවිට අමෙරිකානු ඩොලර් 14,773,576 USD කි. මෙය තරගාවලිය අවසන් වනවිට තවත් ඉහළ යනු ඇති බවයි මේ පිළිබඳව අදහස් දක්වන නිරීක්ෂකයන් අනුමාන කරන්නේ.

Dota 2 ජාත්‍යන්තර ශූරතාවය සඳහා මෙම වසරේ ආරාධිත කණ්ඩායම් වන්නේ,
PSG.GDD, OG, Team Spirit, Beastcoast, Team Aster, Thunder Awaken, Boom Esports, TSM, Thundra Esports, Gaimin Gladiators, Evil Geniuses, Fnatic කණ්ඩායම් දොළහයි.

ලොව පුරා එක් එක් කළාප තරඟයවලින් තේරී පත්වී ඇති කණ්ඩායම් වන්නේ,
උතුරු ඇමෙරිකාව – Soniqs
දකුණු ඇමෙරිකාව – Hokori
බටහිර යුරෝපය – Entity
නැගෙනහිර යුරෝපය – Berboom Team
චීනය – Royal Never Give Up
අග්නිදිග ආසියාව – Talon Esports යන කණ්ඩායම් හයයි.

මෙම පරිගණක ක්‍රීඩා අංගය මෙවර පළමු වතාවට 2022 ආසියානු තරඟයේ පැවැතිවීමට නියමිත බව වාර්තා වෙනවා. අනතුරුව මෙය Olympic අංගයක් වනබවද වාර්තා වෙනවා.

වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය

0

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුලුපිටිය ග්‍රාම නිලධාරී වසමේ ජාතික වනෝද්‍යානය තුළ උල්වෙල කුඹුර නම් මැණික් කැනීම් භූමිය පිහිටා ඇති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතා ගේ වාර්තාවල පැහැදිලි ව සඳහන් කර තිබිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා විසින් මැණික් කැනීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දී තිබීම නීති විරෝධී මෙන් ම ඉතා ම හානි කර ක්‍රියාවකි.

මෙම ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප්‍රදීප් එන්. මුණසිංහ මහතා විසින් මෙම මැණික් ජාවාරම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දී ඇති අතර ජාතික වනෝද්‍යානයේ නිල්ගල පිවිසුමෙන් ඇතුළු වී මහදොරොව්ව කඳවුරු බිම හා ගල්ඔය හරහා මැණික් කැනීම් භූමියට මැණික් ජාවාරම්කරුවන්ට පිවිසීමට, මැණික් කැනීම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර එම මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමට මෙන් ම ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මැණික් කැනීම් භූමියට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීමට තාවකාලික විදුලි වැටන් ඉදි කිරීම සඳහා ද සහයෝගය ලබා දී ඇත. මේ සියල්ල ම ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවන් ය. එම නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට උද්‍යාන භාරකරු විසින් ම සහයෝගය ලබා දීමෙන් සිදු වන්නේ ජාතික වනෝද්‍යානයේ සියලු ජෛව ප්‍රජාව ගේ මෙන් ම මෙම ජාතික වනෝද්‍යානයෙන් පෝෂණය වන සේනානායක සමුද්‍රයේ ජල පෝෂක බිම්වල අනාගත පැවැත්ම විනාශයට ලක් වීම ය. 

බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජේ. එම්. ජයරත්න බණ්ඩා විසින් මෙම මැණික් ජාවාරම මෙහෙයවීම හා මුදල් යෙදවීම සිදු කරන අතර බිබිල, නාගල, පාසැල අසල, අංක 181 දරන ස්ථානයේ පදිංචි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ සේවය කරන වන සත්ව අඩවි සහකාර ඉරෝෂ් නිලංග මහතා ගේ පියා වන ඒ. එම්. විජේවර්ධන යන අය නමට ජී.එම්.එල්. 1007990 අංක දරන නීති විරෝධී මැණික් පතල් කැනීම් හා ගැරීම් බලපත්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නිකුත් කර තිබේ. මැණික් ජාවාරම්කරුවන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් ජාතික වනෝද්‍යානයක් තුළ මැණික් කැනීම් සිදු කිරීමට පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් නීති විරෝධී ව බලපත්‍ර නිකුත් කිරීම පුදුමයට කරුණක් නොවේ. මහජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන මෙම අධිකාරියේ නිලධාරීන් ජනතාව හා රක්ෂිත බිම් විනාශයට ලක් කිරීමට මේ ආකාරයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් සිටීම කණගාටුවට කරුණකි.

මෙම යාන්ත්‍රික කැනීම් බලපත්‍රය ලබා ගැනීම සඳහා හිටපු පරිසර, වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේකර ගෙන් ඒ. එම්. විජේවර්ධන විසින් ඉල්ලීම් කර ඇති අතර අමාත්‍යවරයා ගේ සහයෝගය මත වනෝද්‍යානය තුළ පිහිටි ඉඩම්වල නීති විරෝධී ව යාන්ත්‍රික මැණික් කැනීම් සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.

ව්‍යාපාරිකයන් ගේ හා දේශපාලඥයන් ගේ බලපෑම් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් අද වන විට ජාතික වනෝද්‍යානය තුළ වාඩි ඉදි කර මහ පරිමාණයෙන් පතල් කැනීම් සිදු කර ඇත. බලපත්‍රයක් යටතේ වන සතුන් නැරඹීමේ කාර්යයක් සඳහා පමණක් පිවිසිය හැකි ජාතික වනෝද්‍යානයක් මේ වන විට මැණික් ජාවාරම්කරුවන් විසින් දැවැන්ත විනාශයකට ලක් කර තිබේ.

ජාතික වනෝද්‍යානයේ පැවැත්ම විනාශයට ලක් කිරීම

හෙක්ටයාර 25900 ක් පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරුණු සැවානා වනාන්තර හා ජලමූලාශ්‍රයන්ගෙන් සමන්විත ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය 1954 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ සේනානායක සමුද්‍රයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජල පෝෂක බිම් සුරක්ෂිත කිරීම හා එම ජලාශය ඉදි කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාව ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම උදෙසා ය.

1954 වසරේ දී ම මෙම ජාතික වනෝද්‍යාන හා සම්බන්ධ ව පිහිටි තවත් සැවානා වනාන්තර හා වියළි මිශ්‍ර සදාහරිත වන්න්තර හෙක්ටයාර 37037 ක් සේනානායක සමුද්‍ර අභය භූමිය, ගල්ඔය නිම්න නිරිතදිග අභය භූමිය හා ගල්ඔය නිම්න ඊසානදිග අභය භූමිය නමින් ප්‍රකාශයට පත් කර රක්ෂිත වනාන්තර ජාලයක් ඇති කර ඇත්තේ ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා ය.

වර්ග කිලෝමීටර 1877 ක ජලධාරා ප්‍රදේශයක් හිමි ගල්ඔය හා අක්කර අඩි 770000 ක ජල ධාරිතාවක් හිමි සේනානායක සමුද්‍රය ප්‍රධාන වශයෙන් ම පෝෂණය වන්නේ ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය මත ය. මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්ක දෙකෙහි ගොවිබිම් අක්කර 123000 කට ජලය සැපයීම හා මෙගාවොට් 11.25 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සේනානායක සමුද්‍රයෙන් සිදු වේ. එහි පැවැත්ම රැදී ඇත්තේ මෙහි ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

මේ ආකාරයෙන් නීති විරෝධී හා හානි කර මැණික් කැනීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ ගල්ඔය හා සේනානායක සමුද්‍රය රොන්මඩින් පිරී යාම හා රඳවා ගන්නා ජල ධාරිතාව අඩු වීම ය. මේ පිළිබඳ ව අවබෝධයන් නොමැති නිලධාරීන් ගන්නා මෙම හානි කර හා නීති විරෝධී තීරණ හේතුවෙන් ජල අර්බුද නිර්මාණය වීමෙන් ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වේ.

එපමණක් නොව ජාතික වනෝද්‍යානයක් තුළ නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට අනුමැතිය ලබා දීමෙන් සිදු වන්නේ එහි ජීවත් වන අලි – ඇතුන් ඇතුළු සත්ත්ව විශේෂවල වාසස්ථාන සුරක්ෂිත නොවීම හේතුවෙන් රක්ෂිත වනාන්තරවලින් පිටතට පැමිණ ගම්මාන හා වගා බිම්වලට පිවිසීම වර්ධනය වීම ය. මේ හේතුවෙන් අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත.

ගල්ඔයට හා නිල්ගලට ආවේණික ජෛව විවිධත්වය විනාශ කිරීම

ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය පහත් බිම් සවානා වනාන්තර ලෙස හඳුන්වනු ලැබේ. මේ වනාන්තර දර්ශය ඌව කලාපයට පමණක් ආවේණික වේ. අරළු (Terminalia chebula), බුළු (Terminalia belerica),  නෙල්ලි (Phyllanthus emblica), ගම්මාලු (Pterocorpus marsupium) වැනි ශාක තැනින් තැන පිහිටන මේ වනාන්තරවල යටි ස්ථරය තෘණ ශාකවලින් වැසී පවතී. හීන් පැඟිරි, ඇත්තුත්තිරි, මහ පිනි බරු තණ, පිනි බරු තණ වැනි තෘණ ශාක මෙන් ම ඇත්අඩි, විෂ්ණුක්‍රාන්ති වැනි ශාක ද දැකගත හැකි ය.

මේ වනාන්තරයන්හි ඌව කලාපයට පමණක් ආවේණික ජීවී විශේෂ ගණනාවක් ජීවත් වේ. ලැසර්ටිඩේ  (Lacertidae) කුලයට අයත් පඳුරු කටුස්සන් ලෙස හඳුන්වන උරග විශේෂ දෙකක් මේ ප්‍රදේශයේ සැවානා තෘණ භූමි ආශ්‍රිත ව වාර්තා වේ. එනම් Ophisops leschenaultii lankae හා Ophisops minor minor ය. මේ උප විශේෂ දෙක ම ලංකාවට ආවේණික වේ. 1968 වසරේ දී නිල්ගල ප්‍රදේශයෙන් කෞතුකාගාර නිලධාරීන් එක් රැස් කළ නිර්දේශයක් ආශ්‍රයෙන් 1971 වසරේ දී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් Ophisops minor minor නම් උප විශේෂය විද්‍යාලොවට හඳුන්වා දෙන ලදී. 

උරග හා උභයජීවීන් සම්බන්ධ ව පර්යේෂණ සිදු කරන සමීර සුරන්ජන් කරුණාරත්න, තසුන් අමරසිංහ, ටිරාන් අබේවර්ධන, චන්දන අසේල, භාතිය කැකුලන්දර, ඇන්ස්ලම් ද සිල්වා යන පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව උරග විශේෂ 73 ක් මෙම වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා කර තිබේ. ඉන් විශේෂ 31 ක් මෙරටට ආවේණික වේ. ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතියට පමණක් සීමා වූ ඉතා ම දුර්ලභ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් උරග විශේෂ දෙකක් ලෙස නිල්ගල දිවාසැරි හූනා (Cnemaspis nilgala) හා නිල්ගල මහකැළෑ හූනා (Cyrtodactylus vadda) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිල්ගල ආශ්‍රිත ඌව පතන් බිම්වල ජීවත්වන Calodactylodes illingworthorum නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය සෙවණ සහිත ගල්පර යට ජීවත් වේ. මෙම Calodactylodes ගණය යටතේ ලෝකයේ විශේෂ දෙකක් වාර්තා වන අතර, අනෙක් විශේෂය ඉන්දියාවෙන් හමු වේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර පැවැති භූගෝලීය සම්බන්ධතාව විස්තර කිරීමට වැදගත් වන ජීවී පොසිලයක් ය.

Hemidactylus hunae නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය ඌව පතන් බිම් ආශ්‍රිත ව වාර්තා වන සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ විශේෂයකි. මීට අමතර ව Dasia helianus නම් ලංකාවට ආවේණික හිකනළුන් විශේෂය නිල්ගල වනාන්තරය ආශ්‍රිත වෘක්ෂ මත ජීවත් වන දුර්ලභ විශේෂයකි.

නිල්ගල හා ගල්ඔය වනාන්තර පද්ධතියෙන් උභයජීවී විශේෂ 20 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 9 ක් මෙරටට ආවේණික වේ. මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂයක් ද වේ. ගල්පර මැඬියකු වන එම විශේෂය Nannophrys naeyakei ලෙස හැඳින් වේ. 2007 වසරේ දී මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මේ විශේෂය විද්‍යාලොවට හඳුන්වා දෙන ලදී.

මේ වනාන්තරවල පමණක් දැකිය හැකි පඳුරු වටුවා (Jungle Bush Quail – Perdicula asiatica ceylonensis), පතන් කුකුළා (Painted Francolin නැතහොත් Painted Partridge – Francolinus pictus watsoni) සහ කහ පා බටගොයා (Yellow – footed Green Pigeon – Treron phoenicopterus phillipsi)  නම් ලංකාවට ආවේණික උප විශේෂ තුන 2012 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ (Critically Endangered) විශේෂ වෙයි. මේ පක්ෂීන් ගේ එක ම නිවහන ඌව පතන් බිම් පමණක් වේ. මීට අමතර ව ළා කොළ කෑරලා ද (Scally – bellied Woodpecker නැතහොත් Streak – throated Woodpecker – Picus xanthopygaeus) ඌව පතන් බිම් හා ඒ ආශ්‍රිත සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ පක්ෂි විශේෂයකි.

මේ ප්‍රදේශයේ පමණක් ජීවත් වන, කුඩුම්බේරිය ශාකය මත යැපෙන දළඹු අවස්ථාවක් හිමි Barronet (Euthalia nais) නම් සමනල විශේෂය මේ වනාන්තරවල සුවිශේෂත්වය කියාපාන තවත් එක් සාධකයකි. මෙවන් අති විශාල වැදගත්කමකින් යුත් මිල කළ නොහැකි ජෛව සම්පත් අති බහුතරයකට රැකවරණය සලසන ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය තුළ මැණික් කැනීම් ඇතුළු හානි කර ක්‍රියා අඛණ්ඩ ව සිදු කිරීමෙන් මෙම සුවිශේෂී ජෛව ප්‍රජාව මිහිමතින් වඳ වී යාම සිදු විය හැකි ය.

පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

මෙවන් සුවිශේෂී ජෛව පද්ධතියක් විනාශයට ලක් කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 2 වන වගන්තියට අනුව 1954 පෙබරවාරි මස 12 වන දින අංක 10640 දරන ගැසට් නිවේදනය යටතේ හෙක්ටයාර 25900 ක් වන ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ප්‍රකාශයට පත් කළ ජාතික වනෝද්‍යානයකට මෙම පනතේ 5 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැති ව ඇතුළු වීම ද නීති විරෝධී වෙයි. පනතේ 6 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයේ ශාක විනාශ කිරීම, ඉඩම් එළි කිරීම, පතල් හෑරීම ඇතුළු සියලු ක්‍රියාවන් නීති විරෝධී වේ.

පනතේ 67ආ1 උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. එම ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇප ලබා දීමේ හැකියාව නොමැති අතර පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලබන පුද්ගලයකුට රුපියල් විසි දහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

එපමණක් නොව එම වරද නැවත අවස්ථාවක දී සිදු කර අධිකරණයෙන් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් හතලිස් දහසත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 5 ත් 10 ත් අතර බන්ධනාගාර ගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම පනතේ 59 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරදට ම වරදකරුවකු වන්නේ ය.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කිරීම වෙනුවට අලි – ඇතුන් ඇතුළු වනජීවී වාසස්ථාන විනාශ කිරීමට මෙන්ම සේනානායක සමුද්‍රයේ ජල පෝෂක බිම් විනාශ කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දීමට කටයුතු කරමින් සිටිති.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එවන් රාජ්‍ය ආයතනයක් රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් වගකීම් සහගත ව ක්‍රියාත්මක නොවීම හා මැණික් ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පෙනී යන්නේ රටේ අනාගත පැවැත්ම සුරක්ෂිත තත්ත්වයක නොපවතින බවය.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය ගහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිතා කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය තුළ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.

ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයින් ව අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි භූමියක යාන්ත්‍රික මැණික් කැනීම් කටයුතු සිදු කිරීමට හා ජාතික වනෝද්‍යානයක් පාලනය වන නීති රීති උල්ලංඝනය කරමින් මැණික් ජාවාරම්කරුවන්ට ජාතික වනෝද්‍යානයක් තුළ පිවිසීමට අනුමැතිය ලබා දීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ රටේ ජනතාව ගේ වර්තමාන හා අනාගත සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන අණ පනත් උල්ලංඝනය කර නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමකි. එපමණක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය” යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අල්ලංඝනය කිරීමකි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කඩිනමින් මැදිහත් විය යුතු ය. එසේ නොමැති වුවහෙත් සිදු වන්නේ දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එක් ව සිදු කරන මෙම විනාශකාරී ක්‍රියා හේතුවෙන් රටේ අනාගත පරපුර විනාශයට ලක් වීම ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් වගකීම් විරහිත ව කටයුතු කිරීමට එරෙහි ව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම යන වැරදිවලට අධිකරණයෙන් දඩුවම් කළ හැකි ය. මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම මෙම විනාශය නැවැත්වීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය කඩිනමින් මැදිහත් වීම අත්‍යවශ්‍ය ව ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අසිරිමත් ගැහැණිය

0

අසිරිමත් ගැහැණිය

——————————–

මගේ රහස කොහි වෙත්දැයි

රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති

මම සොබාමත් නොවෙමි

මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද

හිමි කම් නොකියමි

එහෙත් මුව විවර කළ විට

මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති

මම මෙසේ කියමි

එය ඇත්තේ මගේ අතේ දුරිනි

උකුළෙහි පරතරයෙනි

පියවරක දුරිනි

දෙතොල වක් වන සැනෙනි

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

පා තබන විට කුටියක් තුළට,

දුටුවන් පිනා යන ලෙස, ශාන්තව…

ඇවිද යන විට පිරිමියෙකු වෙත,

සියලු හාදයෝ නැගිට ගනිති

නැත්නම් දණින් වැටෙති

මී මැස්සන් මෙන්

මා වටා රොද බඳිති.

මම මෙසේ කියමි..

ඒ මගේ දෑස තුළ ඇති ගින්න යි.

දසන්වල කාන්තිය යි..

බමන උකුළත යි.

පයෙහි රැඳි ප්‍රමෝදය යි..

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

මා තුළ තමන් කුමක් දකින්නේ දැයි

පිරිමි විමතියෙන් තමන්ගෙන් ම විමසති.

ඔවුහු වෙහෙසෙති..

එහෙත් නො හැකිය ඔවුනට

ස්පර්ශ කරනට

මා තුළ ඇති අභිරහස

වෙර දරමි පෙන්වන්නට,

එහෙත් ඔවුහු මට පවසති..

තවමත් එය දැකගනු නො හැකි බව

මම මෙසේ කියමි…

එය ඇත්තේ මගේ රවුම් පසුපස ය

සිනහවේ හිරු තුළ ය.

පාවෙන පියොවුරුවල ය

විලාසයේ අසිරිය තුළ ය..

මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

දැන් ඔබ දනියි

මගේ හිස නො නැමෙන හේතුව

ඔල්වර නො දෙමි

උඩ පැන රඟ නො දෙමි

උස් හඬින් කතා නො කරමි..

මා ඔබ පසු කර යන විට

එය ඔබ ආඩම්බරයට පත් කරනු ඇත..

මම මෙසේ කියමි…

එය ඇත්තේ මගේ උස් වහන් යුගළෙහි

ටක ටකස් හඬ තුළ ය.

කැරළි හිසකේ තුළය

අත්ල තුළ ය…

මගේ අවධානයට

ඔබේ ඇති ඇල්ම තුළ ය..

මන්ද මම ගැහැණියක වෙමි.

අසිරිමත් ලෙස,

අසිරිමත් ගැහැණිය…!

ඒ මම ය.

පරිවර්තනය – මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

[මායා ඇන්ජලෝ ගේ Phenomenal Woman කවියෙහි පරිවර්තනය]

පුස්තකාල ඩිජිටල් කරයි

0

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරු ඕතර පළාත, කිරිමැටියාන මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබෙනවා. .  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම  ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.  දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය ඇතුළු මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරෙනවා. මේ වසරේ ජාතික කියවීමේ මාසය ආරම්භ කරමින්  වෙන්නප්පුව, කිරිමැටියාන ඩිජිටල් පුස්තකාලය ජනගත කිරීම පසුගියදා සිදුව තිබෙනවා.

නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින්  ජාතික පුස්තකාල  ජාලගත කරණ බවයි කියන්නේ. මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුළින් පොදු පාඨකයාට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කරගැනීමට ද මෙමගින්  පහසුකම් ලැබෙන බව කියනවා. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත  ‘KOHA’ විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කර තිබෙනවා.

පුරවැසියන්ට විද්‍යුත් තොරතුරු, විද්‍යුත් පොත් සහ අධ්‍යාපනික පරිශීලන සඳහා පහසු ප්‍රවේශයන් මෙමගින් ලබාගත හැකිවනු ඇති බව පැවසෙනවා. ළමයින් ගේ නිර්මානාත්මක හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් භාවිතය හුරුකිරීමේ වෙනම  ඒකකයක්ද මෙම පුස්තකාල පද්ධතියට  ඇතුළත්. අවශ්‍ය ලේඛන ස්කෑන් කිරීම, මුද්‍රණය කිරීම සහ ඡායා පිටපත් කිරීම වැනි සේවාවන් ද පාඨකයන්ට මෙම ඩිජිටල් පුස්තකාලයෙන් ලබාගත හැකියි.   ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතිය මගින් අනෙකුත් පුස්තකාල හා සම්බන්ධ වීමටද හැකි අතර පුස්තකාල කාර්යමණ්ඩලයට ද සිය සේවාවන් පහසුවෙන් හා කාර්යක්ෂමව පවත්වාගන යාමට හැකිවන බවයි සඳහන් වන්නේ.  

කිරිමැටියාන පුස්තකාලයේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි (ICTA) ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරි කාංචන තුඩුගල ප්‍රකාශ කළේ,  “ජාතික  ඩිජිටල් රාජ්‍ය පරිවර්තන උපාය මාර්ගයේ අරමුණ වන්නේ  පුරවැසියන්ට පහසු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීම සදහා තාක්ෂණ පාදක විසදුම් ලබාදීමයි. මෙම  ඩිජිටල් පුස්තකාල වැඩසටහන එම මුල පිරීම් අතරින් එකකි. මෙය ක්‍රියාවට නැගීමට අප හා සහයෝගයෙන් කටයුතු කරන පුස්තකාල සේවා මණ්ඩලයේ සේවය අප අගය කළ යුතුයි. මෙවැනි ඩිජිටල් සේවාවන් රැසක් රාජ්‍ය අංශයේ මේවනවිට ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු මහජන සේවාවක් ලබාදීමයි” යනුවෙන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරි කාංචන තුඩුගල සමඟ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා, ප්‍රජා සංවර්ධන කමිටු සභාපති කිත්සිරි අභයවික්‍රම සමඟ පිරිසක් එක්ව තිබුණා.

#A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

විශ්වාසය තියන්න පුළුවන් NPP ගැන විතරයි

0

මේ වනවිට රට ගොඩනැගීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම කණ්ඩායම ජාතික ජන බලවේගය පමණක් බවයි හිටපු වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ එරික් ප්‍රසන්න වීරවර්ධන කියන්නේ. තමන් මෙම තීරණය ගනු ලැබූවේ පසුගිය කාලය පුරාවටම සිදු කළ අධ්‍යනයකින් පසුව බව ඔහු පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ඔහු ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ලේකම්වරයා ලෙස කලෙක කටයුතු කළා.

2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015 පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කළා. ඔහු කලක් මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙක්.

ඔහු පසුගිය දා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ආසනයේ ගල්පිහිල්ල කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්ව සිටියා. පසුව පිලවල උතුර කොට්ඨාස සභාවටද එක්වී ඔහු සිය අදහස් දැක්වුවා.

ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන ජනතා නියෝජිතයින් ඔවුන්ගේ කාර්යභාර්යය නිවැරදිව ඉටු නොකරණ බවයි එරික් වීරවර්ධන මහතා කියන්නේ. තමන් පාර්ලිමේන්තුවේ සිටි කාලය ඇතුළත එය හොඳින්ම අත් විඳි බවත් ඔහු පවසනවා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ පාර්ලිමේන්තුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාර්යය පාර්ලිමේන්තුව තුළ නිවැරදිව ඉටු කළ බවයි ඔහු සඳහන් කරන්නේ. මේ වනවිට රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් ඉන්නේ ජාතික ජන බලවේගය තුළ බවයි ඔහුගේ අදහස වන්නේ.

මෙම කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවන් සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රවිඳු උස්වැටකෙයියාව, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික තනුර දිසානායක ඇතුළු පිරිසක්ද එක් වී සිටියා.

#ericprasannaweerawardhana #slfp #NPP #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

ශ්‍රීලනිපයේ එරික් වීරවර්ධන ජාජබ වේදිකාවේ

0

මහනුවර කුණ්ඩසාලේ දි පැවැති ජාතික ජන බලවේගයේ බලමණ්ඩලය රැස්විමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව තිබෙනවා. ජාතික ජනබලවේගයේ ගල්පිහිල්ල, කොට්ඨාස සභාව ආමන්ත්‍රණය කරමින් හිටපු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ඔහු ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015 පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කළා. ඔහු කලක් මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙක්.

එරික් වීරවර්ධන යනු 1994 සිට වරින් වර පාර්ලිමේන්තුව නියෝජනය කළ එදිරීවීර වීරවර්ධන ශ්‍රීලනිප මන්ත්‍රී වරයාගේ පුතෙක්.
#ericprasannaweerawardhana#NPP#slfp#A5#a5news#a5newssrilanka#news#NewsUpdate#NewsAlert#SriLanka#hotnews#LatestNews