ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය වෙනුවෙන් පංචවිධ වැඩසටහනක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය අරමුණු කොට ගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පංචවිධ වැඩසටහනක් සකස් කොට තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ජනමාධ්‍ය උදෙසා ඇසිදිසි රක්ෂණය, වරලත් මාධ්‍යවේදී ආයතනය ස්ථාපනය, මාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල, රූපවාහිනී විකාශය ඩිජිටල්කරණය සහ ජනමාධ්‍ය හැඳුනුම්පතේ වළංගු කාලය වසර තුනකට දීර්ඝ කිරීම ඊට අයත් බවයි ඔහු කියන්නේ. 2021 වසර අවසානයේ සැලසුම් කළ වැඩසටහන 2022 වසර තුළ ක්‍රියාත්මක කරන බව සඳහන් වෙනවා.

ජනමාධ්‍යවේදීන්ට ප්‍රදානය කෙරෙන ඇසිදිසි රක්ෂණ ක්‍රමය පංචවිධ වැඩසටහනේ ප්‍රමුඛතාවය ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
“රක්ෂණ ප්‍රතිලාභියාගේ හෝ ඔහු සේවය කරන ආයතනයේ දායකත්වයක් නොලබා රක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම රක්ෂණ ක්‍රමය ලෙස මෙම රක්ෂණය හඳුන්වා දිය හැකියි. ආසියානු රටක ක්‍රියාත්මකවන පළමු වරලත් මාධ්‍යවේදී ආයනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ජනමාධ්‍යවේදීන්ට වෘත්තීයමය පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් මෙම ආයතනය ස්ථාපිත කෙරෙනවා. අගෝස්තු මාසයේදී ඒ ආයතනයේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කුසලතා ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන් සදහා ජනාධිපති සම්මාන උළෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබි තියෙනවා. ඉදිරියේදී මාධ්‍ය අංශ හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංවිධාන ඒකාබද්ධව මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් ජනමාධ්‍යවේදීන් සඳහා මෙතෙක් වසරක කාල සීමාවකට නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත මින් ඉදිරියට වසර 3 ක කාලසීමාවක වලංගුවන පරිදියි නිකුත් කරන්නේ. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කෙරෙන මාධ්‍ය හැඳුනුම්පත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක මගින් නිකුත් කිරීමටද සැලසුම් කර තියෙනවා.

විවිධ රටවල ජනමාධ්‍යවේදීන් සමඟ සම්බන්ධවෙමින් අපේ රටේ ජනමාධ්‍යවේදීන්ට අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලබාදීම කෙරෙහිද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධානය යොමු වෙලා. මේ පිළිබඳ තානාපතිවරු සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජපාන තානාපතිවරයා දැනටමත් එවැනි අවස්ථාවක් ලබාදීමට එකඟතාවය පල කළා. ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට අවකාශ සලසා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා” යි අමාත්‍ය ඩලස් පවසනවා.

POPULAR

Recent articles