“චමුදිත සමරවික්‍රමට එල්ල වූ ප්‍රහාරය ජනමාධ්‍ය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක්” – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අවිගත් පිරිසක් අද, එනම් පෙබරවාරි 14 දින අළුයම එල්ල කල බියගුළු මැර ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි කියන්නේ.

“මෙචැනි ප්‍රහාර වල අරමුණ වනුයේ මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල කරවා දූෂිතයින් හා වංචනික ක්‍රියාවල නිරත වන්නන් ආරක්ෂාවීම බව පැහැදිලිය. මෙරට මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයන් එල්ල වූ ‘කළු ජනවාරිය’ සිහිකොට මසක් ගත වන්නටත් මත්තෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ජනමාධ්‍ය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක් ද විය හැකිය. එසේම මෙරට මාධ්‍ය සමාජයට එල්ල වූ දරුණු ප්‍රහාරයන්, ඝාතනයන් මෙන්ම අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවී ඇති පරිසරයක මෙවැනි ප්‍රහාරයන් තුලින් නැවත සිහි ගන්වනුයේ ඒ අඳුරු අතීතයම විය හැකිය.
පසුගිය කාල පරිච්ඡේදය තුළ මාධ්‍යට එල්ල කල සියලු ආකාරයේ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටීමද මෙවැනි ප්‍රහාරයන්ට එක් අතකින් ආශිර්වාදයක් විය හැකි බව අප සංගමයේ විශ්වාසයයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අදාල අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරවා ගැනීම වගකිව යුතු නීති අංශයන්ගේ ප්‍රමුඛතම කාර්‍යයක් විය යුතුය.

චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් පාර්ශවයකට ප්‍රශ්නකාරී වන්නේ නම් එය මෙරට නීතියට අනුව අදාල අංශ වෙත පැමිණිලි කොට විසඳාගත යුතු තත්වයකි. එසේ නොකොට මාධ්‍ය නිදහසට බරපතල ප්‍රශ්ණකාරී තත්ත්වයන් ඇතිකරමින් සිදු කරනු ලබන මෙවැනි බියගුළු ප්‍රහාර අප සංගමය දැඩි ලෙස හෙලා දකින අතර එවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා මෙරට සහ ජාත්‍යන්තරවද සිදුකළ හැකි මැදිහත්වීම් සඳහා යොමුවීමට අප සංගමය පසුබට නොවන බවද සපථ කොට සිටියි” යනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති, මාධ්‍යවේදී දුමින්ද සම්පත් සහ ලේකම්, මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් ද සොයිසා අත්සන් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

POPULAR

Recent articles