ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පනත් කෙටුම්පත 2022 ජනවාරි 27 වනදා රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ අතර රැඳවුම් කාල සීමාව අඩු කිරීම, රඳවා තබාගෙන සිටින සැකකරුවන් සිටින රැඳවුම් ස්ථානවලට පැමිණීම සඳහා මහේස්ත්‍රාත්වරයාට පැහැදිලිවම බලය පැවරීම, ඇතුළු තවත් කරුණු කිහිපයක් මෙයට අයත් වනවා.

කෙසේ වුවද මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිත වනවා.

අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් අධිකරණ අමාත්‍යවරයා වෙනම පනතක් ගෙන එන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක සංශෝධිත පනතක් ඉදිරිපත් කළේ කුමකටදැයි ප්‍රශ්න කරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් අමාත්‍යවරයා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

කිසිවකු හෝ මෙම පනත් කෙටුම්පතට විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඔහු කියා සිටියා.

POPULAR

Recent articles