“පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අස්වෙනවා” – අරුන්දික ප්‍රනාන්දු

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම කඩාවැදී සිසුන්ට පහර දුන් පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන දංකොටුව, වලව්වත්තේ පදිංචි 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති අයත් ඇතුළත් වෙනවා.

අරුන්දික ප්‍රනාන්දු මහතා දැරුවේ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයි. ඔහු පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්.

අදාළ සැකකාර පුත්‍රයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (3) අලුයම පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් පන්දූව පැවසුවා. රාගම පොලීසියට භාරවූ පසු එම සැකකාර පිරිස පෙබරවාරි 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. පොලීසිය පවසන්නේ අදාළ පහරදීම සඳහා පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතාගේ බව කියන BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් බාරයට ගත බවයි.

මේ වන විට සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7ක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස බන්ධනාගාරගත් කළේ. මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන ඩී. කේ. සමරතුංග නැමැත්තාද මෙලෙස බන්ධනාගාර ගත කළ පිරිසට අයත් වෙනවා.
රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට කඩා පන සිසුන්ට පහරදීම ‘නවකවදයට’ අදාළ සිද්ධියක් බව මුලින් පැවසූ අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ “මේ සිද්ධියට මගේ කියලා කවුරු හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුළ ඒ අය ගැන විනය තීන්දුවක් ගන්න මං අනිවාර්යයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම කවුරු හරි කියවා නම් ඒකට මම සම්බන්ධයි කියලා..ඒක ඔප්පු කළොත් මං අනිවාර්යයෙන්ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා” යනුවෙන්.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වුණේ ඒ අනුවයි.

ඔහු කියා ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

POPULAR

Recent articles