“මහින්ද – ජොන්ස්ටන් වහාම අත්අඩංගුවට ගන්න” – ජාතික ජන බලවේගයේ නීතිඥයන්

ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09වැනිදා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ තුච්ඡ ප්‍රහාරයත් ඉන් පසුව ඇති වුණු සිද්ධිදාමයේ අසමතුලිතතාවය පැහැදිලි කරනවා. ඇත්ත හේතුව සොයන්නේ නැතිව දේශපාලන පක්ෂයකට, දේශපාලන ව්‍යාපාරයකට, කිසිදු පදනමකින් තොරව මේ ප්‍රහාරයේ වගකීම පවරන්න ආණ්ඩුව උත්සාහ කරන බවයි ඔවුන් කියන්නේ.

“අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කිරීමෙන් පසුව සියලු විනාශයන් සිදුවුණා. හේතුව සහ ඵලය බුදුදහමට අනුව විග්‍රහකර තිබෙනවා. හේතුව ඇතිවුණු අරලියගහ මන්දිරය අමතක කර, ඵලයට වැරදි අර්ථ නිරූපණයක් දෙන්න යනවා. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ සම්බන්ධතාවයක් ගැන කියන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. අපි ආණ්ඩුවට කියන්නේ ඇත්ත තැනින් මේ ප්‍රශ්නය අල්ලන්න කියලයි. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියේ බලයටත් ගැලපෙන්නේ නැහැ. ප්‍රහාරය සම්බන්ධ සුප්‍රසිද්ධ චරිත කිහිපයක් මේ දක්වා කරළියේ රඟපානවා. නීතියේ අර්ථයෙන් ගත්තාම මීට ඍජුව වගකියන්න ඕනෑ හේතුව ඇති කළ මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු. දණ්ඩ නීති සංග්‍රහයත්, අපරාධ නීති සංග්‍රහයත් ඇසුරෙන් ගත්තාම කුමන්ත්‍රණයත්, කුමන්ත්‍රණයක් ඇති කරන වෛරී ප්‍රකාශන සිදුකළේ මේ අය. ඉන්පසුව යම් යම් සිදුවීම් ඇති වුණා. අපි ඒවා අනුමත කරන්නේ නැහැ” යි නීතිඥ සුනිල් වටගල පවසනවා.

“ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම, තෙල් පෝලිම රටේ ජනයාට තිබෙන මූලික ප්‍රශ්නයි. නමුත් මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ධන දෙන්නත්, මන්ත්‍රීවරුන්ගේ අලාභහානිවූ නිවාසවලට වන්දි දෙන්නත් වාදවිවාද කරන ආකාරය පාර්ලිමේන්තුවේදී දැක්කා. අපි සාකච්ඡා කරන්නේ මේ අසමතුලිතතාවය ගැනයි. තවම අත්අඩංගුවට නොගත් මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්න කියලා අපි බලකරනවා. මේ ප්‍රශ්නය ඇති කළේ ඔවුන්. ඉන්පසුව හඳපාන්ගොඩ මහත්මිය, මහින්ද කහඳගම, වගේ අය ඉන්නවා. “මයිනාගෝගමට ගහලා එන්නේ. ගෝඨාගෝගමට ගහන්න යනවා. අපි නීතිය අතට ගත්තා” කියලා හඳපාන්ගොඩ මහත්මිය කියනවා. පොදුජන පෙරමුණේ ගුරුවෘත්තීය සමිතියේ නායිකාව මේ කියන්නේ.

අනුරංග කියන සාමකාමී විරෝධතාකරුවාට පොල්ලකින් පහර දෙනවා. අදත් පහර කෑ අනුරංග දැඩිසත්කාර ඒකකයේ ඉන්නේ. මේ රටේ ජනයාගේ දැවෙන ප්‍රශ්න ගැන උත්තර නැති නිසා උද්ඝෝෂණය කරමින් ඉන්නේ. උද්ඝෝෂකයෝ කුපිත වෙන තැන් තිබෙනවා. ඒ කුපිතවීම් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය මත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඇතැම් උසාවිවලට පොලිසිය ඉදිරිපත් කර තිබෙන ‘බී’ වාර්තා අනුව නඩු පවත්වාගෙන යන්න බැරි බව විනිසුරුවරුන් කියා තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරයෙක් කියා තිබෙනවා පහරදීම්වලට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ 150ක් සිටි බව. ඒ මන්ත්‍රීවරයාම ඊට පෙර එක්නැලිගොඩ ප්‍රංශයේදී හමුවූ බව කියා තිබුණා. මෙවැනි බොරු අවලාද ඉදිරිපත් කරමින් හේතුවට අත නොතබා, ඵලය ගැන කතා කිරීම නිශ්ඵල දෙයක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධකරුවන් එක්ක ඉන්න ඡායාරූප තිබෙනවා. මේ පුද්ගලයෝ අරලියගහ මන්දිරයේ සිට එතැනින් ගමන්කර පහරදීම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතුයි. නමුත් අදටත් හඳපාන්ගොඩ එළියේ ඉන්නේ නීතිය අතටගත්තා කියලා ප්‍රකාශ කිරීමෙන් පසුවයි. බලය වෙනුවෙන් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමෙන් හානියට පත්වූ වින්දිතයන් තවමත් ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඔවුන්ට ප්‍රහාර එල්ල කළ අය වහාම අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කරනවා” යි ජාතික ජන බලවේගයේ නීතිඥයන් වෙනුවෙන් නීතිඥ වටගල අවධාරණය කරනවා.

POPULAR

Recent articles