පාර්ලිමේන්තුවේ කොවිඩ් රැල්ලක්

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සේවකයින් 25 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වූ පිරිසට පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලීසියේ නිලධාරීන් පස් දෙනෙක්ද ඇතුළත් බව සඳහන් වනවා.

කෙසේ වුවද කොවිඩ් 19 ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය හා හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද වාර්තා වනවා.

පාර්ලිමේන්තු සේවකයින් 152 දෙනකු සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී මෙම සේවක පිරිසට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වී තිබෙනවා.

මේ අතර ජනවාරි මස 18 වනදා සිට මේ දක්වා කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙකුට හා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියකට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආසාදිතයන් පිරිස හමුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බොහෝ අංශ විසබීජහරණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකගේ හා නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීරගේ උපදෙස් මත වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර පෙබරවාරි මස 03 වනදා පාර්ලිමේන්තුවේ තවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් සිදුකිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.

POPULAR

Recent articles