අර්බුදවලින් රට ගොඩ ගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ සෙසු පක්ෂ දහයක නායකයන් තීරණයක

රට මේ මොහොතේදී මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ සෙසු පක්ෂ දහයක නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ආණ්ඩුවේ සෙසු පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා රාත්‍රියේ රැස්වී කළ සාකච්ඡාවක දී යි මෙම තීරණය ගෙන තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන අය මෙම සාකච්ඡාවට සහභාගී වී තිබූ බවයි කියන්නේ. එහෙත් මෙම පිරිස සමඟ මෙතෙක් සිටි බව කියූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙට සහභාගී වී නැහැ.

තම පිරිස විසින් සකස් කරන අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉක්මනින්ම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද සෙසු පක්ෂ නියෝජිතයින් තීරණය කර තිබෙනවා.
රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී සෙසු පක්ෂ නායකයින් එකඟ වී ඇති බවයි කියන්නේ.

POPULAR

Recent articles