ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි

මෙවර එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම අද (24) සමත් වුණා.

ඒ එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අද (24) පැවති තරඟයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජය කරමින්. එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මැලේසියාවේ පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, මැලෙසියාව සහ කෙන්යාව තරග වැදුනා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වු තරග 04ම ජයගනිමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිතවයි.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24) පැවති තීරණාත්මක තරගයේදි නායිකා චමරි අතපත්තු තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 06ක් දැවී ලකුණු 136ක් රැස් කළා. නායිකා චමරි අතපත්තු පන්දු 28කදී 06 පහර 03ක් සහ හතරේ පහර 06ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා ක්‍රිකට කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 05ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 114ක් පමණයි. චමරි අතපත්තු විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තා. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගත්තේද චමරි අතපත්තුයි.

ඇය ඉනිම් 04කදී අර්ධ ශතක දෙකක් සමගින් මෙම තරගාවලියේදී ලකුණු 221 රැස් කිරීමට සමත්වුණා.

මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිිකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා. ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

එමෙන්ම 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන ජුලි මස 28වනදා එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ වීමට නියමිත වනවා.

POPULAR

Recent articles