“මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරනවා” – තාරික් අහමඩ් සාමිවරයා

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා. තවදුරටත් එය ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟාවිය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇති බවද ඒ මහතා පෙන්වාදී ඇත.

අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඒ බව පවසා තිබුණා.

දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට යි.

මෙම හමුවීමේදී එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස තාරික් අහමඩ් සාමිවරයාගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්, පළමු ලේකම් මැතිව් ඩීත්, තාරික් අහමඩ් සාමිවරයාගේ සහකාර ඉසබෙල් ස්කොට්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන පිරිස මෙම අවස්ථාවට එක්වී තිබුණා.

POPULAR

Recent articles