කොළඹ වරාය නගරයේ ඡායාරූප හා වීඩියෝකරණ කටයුතු සඳහා ගාස්තු ප්‍රකාශ කරයි

තවමත් සම්පූර්ණයෙන් ඉදිකර අවසන්ව නැති කොළඹ වරාය නගරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන්නේ මෙරටට විදේශ ආයෝජන ගෙනෙන ව්‍යාපෘතියක් ලෙසයි. චීනය විසින් මෙරට මුහුද ගොඩකරමින් ගොඩනගන මෙම නගරයේ මැරීනා කලාපයේ මංතීරුවේ මීටර් 500ක දුර ඇවිද යාමට සාමාන්‍ය ජනයාට පසුගියදා විවෘත කරනු ලැබුවා.

අද (20) බොහෝ මාධ්‍ය කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීම සඳහා වන මිල ගණන් සඳහන් කර තිබුණා.

ඒ අනුව CHEC Port City Colombo (Pvt) Ltd නම් ආයතනය විසින් කොළඹ වරාය නගරයේ වීඩියෝ සහ ඡායාරුප සඳහා අයකිරීම් දක්වා තිබෙනවා. ඒ පැය 1 ත් 3 ත් අතර කාලයකට එම අයකිරීම් සඳහන් කරමින්. Personal කාණ්ඩයේ ඡායාරුප හෝ වීඩියෝ සඳහා පුද්ගලයන් 2 -5 අතර සංඛ්‍යාවකට එම කාලය තුළ අය කිරීම රු. 30,000ක්. එම පිරිස 6 -10 ත් අතර නම් අය කරන මුදල රු. 50,000ක්. 10ට වඩා වැඩි දෙනෙක් සහභාගී වන්නේ නම් අය කරන මුදල නිශ්චිතව දක්වා නැහැ. එය වෙනස් වන බවයි දක්වා ඇත්තේ.

වාණිජ (Commercial ) ලෙස හඳුන්වන කාණ්ඩයේ ඡායාරුප හෝ වීඩියෝ සඳහා සහභාගීත්වය 10 දෙනෙකුට අඩුනම් පැය 1 ත් 3 ත් අතර කාලයකට රු. 100,000ක මුදලක් අය කරන බවයි දක්වා ඇත්තේ. පිරිස 10 දෙනෙකුට වඩා වැඩිනම් මිල ගණන් වෙනස් වන බවයි කියන්නේ.

CHEC Port City Colombo (Pvt) Ltd නම් වන ආයතනයේ ලිපිනය ලෙස දක්වන්නේ කොළඹ, කොටුවේ, චැතම් වීදියේ ලිපිනයක්.

POPULAR

Recent articles