මහින්ද පාර්ලිමේන්තුව කැඳවන ලකුණු !

මහින්ද පාර්ලිමේන්තුව කැඳවන ලකුණු !

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඉඩ ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාර්ලිමේන්තුව එළෙඹෙන සති දෙක තුළ කැඳවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය තුළ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි අභ්‍යන්තර තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තුව නොකැඳවීම හේතුවෙන් මේ වන විට රට මූල්‍ය අර්බුදයකට සහ ව්‍යවස්ථා අර්බුදයකට ගොස් ඇති බවට අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයින් සහ නීති විශාරදයින් පෙන්වා දී තිබෙනවා .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය පවසන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සිටින සමහර නිලධාරීන්ට දේශපාලනික සහ පරිපාලනමය ගැටළු සම්බන්ධයෙන් මෙවැනි අත්දැකීම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
එහෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට එම පාර්ශ්වය පෙන්වා දෙනවා.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය අතර හමුවක් සිදු වුණා.
එහිදී ඇය පැවසුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් , මූල්‍යමය කටයුතු සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පමණක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් සංවිධාන විසින් ලබා දෙන මූල්‍යමය ආධාර ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

මේ අතර අද ඇමරිකානු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ඉදිරියට සකස් කරන ලෙසයි.

මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි යන ස්ථාවරයේ සිටින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

POPULAR

Recent articles